31
අපේ රටේ ජනතාවට අවශ්‍ය, ආදර්ශවත් දේශපාලන භාවිතයක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ මහනුවර රැලියට පෙරේදා (11) සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා:
“අද දේශපාලන පොරපිටිය වේගයෙන් තීව්ර වෙමින් තිබෙනවා. පාලක කණ්ඩායම් අපට විරුද්ධව අවලාද, අසත්‍ය තොරතුරු හා විකෘති කරන ලද තොරතුරු වපුරමින් ඉන්නවා. ඔවුන්ගේ එකම මෙවලම බවට පත් වී තිබෙන්නේ අසත්‍ය තොරතුරු නැවත නැවත කියන එකයි. දැන් නැවත බුදු දහම පිළිබඳව කතාවක් ඇදලා අරගෙන අවලාද නඟමින් ඉන්නවා. බුදු දහම මේ දක්වා ඉෂ්ට කළ කාර්යභාරය පිළිබඳවත්, අපේ ශිෂ්ටාචාරය ගොඩනැඟීමේදී එය මූලික පදනම දැමූ බවත් ඉතා නිරවුල්ව හා පැහැදිලිව විශ්වාසය කරන ව්‍යාපාරයක්. එහෙත් අද මොකද අපේ විරුද්ධ පාර්ශ්ව කරන්නේ? හාමුදුරුවන් වහන්සේ කණ්ඩායමක් එකතු කරගෙන අපට විරුද්ධව අසත්‍ය තොරතුරු සහ අවලාද පතුරුවන්න පටන්ගෙන තිබෙනවා.
“මම හිතන්නේ හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ ආගම් පිළිබඳව සාකච්ඡාවට ගත යුතු නැහැ. එහෙත් මේ පාලක කණ්ඩායම්වල ප්රයත්නය වී තිබෙන්නේ නැවත නැවත වේදිකාවට ආගම් පිළිබඳ ප්රශ්නය ඇදගෙන එන එක. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක් අපි බුදු දහම හෝ ක්‍රිස්තියානි දහම හෝ ඉස්ලාම් දහම හෝ හින්දු දහම හෝ මේ කිසිවක් අපේ වේදිකාවේ ඡන්ද එකතු කරගැනීම සඳහා හෝ අනෙකාට විවේචන එල්ල කිරීම සඳහා හෝ කතාබහට ලක් කරන්නේ නැහැ. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ ඒවා දේශපාලන වේදිකාවට නොගෙන ඉන්න ප්රමාණයටයි. දේශපාලනය හා පටලවා නොගන්නා ප්රමාණයටයි. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ දේශපාලන වේදිකාවේ එය සටන් පාඨයක් ලෙස අලෙවි නොකරන තාක්කල්. එහෙත් අද බෞද්ධාගමටත් සෙසු ආගම්වලටත් කරන්න පුළුවන් නිගරුව තමයි දේශපාලන වේදිකාවල නැවත පටන් අරන් තිබෙන මේ දහම පිළිබඳ කතිකාව. අපි භාවිතයෙනුත්, අධ්‍යයනයෙනුත් ආගම් පිළිබඳව අපේ ස්ථාවරයන් අප ඉතා හොඳින් පැහැදිලි කර තිබෙනවා.
“ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න කොට ඒ ගොල්ලෝ අපි ගැන කිවුවේ අපට තිබෙන්නේ 3%යි. කතාව පටන් ගත්තේ එතැනින්. කොහොමද 3%, 50% වෙන්නේ කියලා. ඒක මහා හාස්කමක්නෙ. වෙන්න බැරි වැඩක්නේ කියලා. දැන් ඒ ගොල්ලෝ දන්නවා හාස්කම වෙලා ඉවරයි කියලා. දැන් කියනවා දිනුවොත් මෙහෙම වෙයි කියලා. තව අය කියනවා දිනුවොත් මාස 6ක් වත් ඉන්නේ නැති වෙයි කියලා. ඒ ගොල්ලන්ට 21 වැනිදා වෙන කල් දිනුවොත් කිය කියා ඉන්න පුළුවන්. 22න් පස්සේ අපි දිනුවා. එච්චරයි.
“දැන් ඊළඟට සමාජය ඇතුළේ බියක් හදන්න උත්සාහ ගන්නවා. අපි දිනුවහම 22 දා කලබල ඇති වෙයිලු; ගැටුම් ඇති වෙයිලු; අපි එහෙම කුමන්ත්රණයක ඉන්නවාලු. නැහැ. අපේ රටේ දේශපාලනයේ වෙනසක් ඕනෑ. හැම දේකම වෙනස්කමක් අවශ්‍යයි. අපේ රටේ මෙතෙක් කල් දේශපාලනයේ තිබුණේ මොකක්ද? ජයග්‍රහණය කළාම පරාජිතයට පහර දෙනවා; පරාජිතයාට වෙඩි තියනවා. පරාජිතයා හිංසාවලට ලක් කරන ඉතිහාසයක්. ඒක අපි ඇති තරම අත්විඳ තිබෙනවා. අපේ රටට වෙනස් වෙන්න ඕන කියන්නේ මොනවාද? මේ දේවල්වල ඉඳන් වෙනසක් වෙන්න ඕනෑ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන්නම් අනෙකාට රිදවන්නේ නැතිව, ජයග්‍රහණය සමරන්නෙ කොහොමද, කියලා. ඔබට කුඩා හෝ ප්‍රමාණයකින් බියක් සැකක් ඇති වී තිබෙනවා නම්, අපි සහතිකයක් දෙනවා, ඔබට ජාතික ජන බලවේගයේ ජයග්රහණයෙන් පසුව කිසිදු පුරවැසියකුට, අපට ඡන්ද නොදුන් අයට පවා නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. හැම දෙනාම අප ආරක්ෂා කරනවා, අප ආරම්භයේදීම අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රට තුළ නිර්මාණය කරනවා. ඉන් පසු පියවරෙන් පියවර මේ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අපි අවතීර්ණ වෙනවා.
“මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තිබුණේ ජනාධිපති ධුරය වෙනස් කිරීම පමණක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව පිරිසිදු තැනක් කරන්න ඕනෑ කියලා, ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටියා. මේ රට ගොඩනඟන්න, මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕනෑ. ජනාධිපතිවරණය දිනූ ගමන් අපට ඒක තාවකාලිකව කරන්න පුළුවන්. මහා මැතිවරණය දිනවලා ඒක සම්පූර්ණයෙන් කරන්න ඔයගොල්ලෝ අපට සහාය දෙන්න.
“ආදර්ශවත් දේශපාලන භාවිතයක් අපේ රටේ ජනතාවට අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා. ආර්ථිකය පියවරෙන් පියවර වර්ධනය කරන්න ඕනෑ. සෑම දෙනාම නීතිය ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙන්න ඕනෑ. හැම දෙනාම නීතිය ඉදිරියේ සමාන වන රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අපි හදනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත, ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
උපාලි කරුණාරත්න, අසේල කුරුළුවංශ