21
ව්‍යාපාරික පැලැන්තිය පමණක් පොහොසත් නොකොට ජනතාව පොහොසත් කරන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ හිරියාල නගරයේදී පසුගියදා (10) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආසන සම්මේලනය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා:
“අද ඉතා සාර්ථක ආසන බලමණ්ඩලයක් පැවැත්වෙනවා. අප ලංකාවේ හැම ආසනයකටම ගොස් අපේ පාක්ෂිකයන් මුණගැසෙනවා. අපටත් බස් දාලා මහා රැස්වීම් කරන්න පුළුවන්. ඊට වඩා අපට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. බස් දාලා මහා රැස්වීම් කරනවා වෙනුවට, ඊට පෙර ගමට පැමිණ ඔබ හමු වනවා. ගම කේන්ද්‍ර කරගත් මේ රටේ මහජනතාව විසින් ගොඩනඟපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා විශාල පිරිසක් ඉන්නවා. එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අපේ රටට නොගැළපෙන නිසා බණ්ඩාරනායක, ඩී.ඒ. රාජපක්ෂ මහත්වරුන් පංච මහා බලවේගය කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවා. ඒ හා සමානව යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වුණාම මහින්ද රාජපක්ෂ මහතා සහ පංචමහා බලවේගය, රණවිරුවන් සහ රටවිරුවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟුවා.
“අපට වගකීමක් තිබෙනවා අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න; අපේකම ආරක්ෂා කරන්න. ඒ වගේම අපට යුතුකමක් තිබෙනවා අප විශ්වාස කළ පාක්ෂිකයන් ආරක්ෂා කරන්න. ඇතැම් දේශපාලනඥයන් හිතාගෙන ඉන්නවා ජනතාව ඉන්නේ තමන් නිසා කියලා. අප ඒ අයට මතක් කර දෙනවා. දේශපාලනඥයොත් නායකයොත් බිහි වෙන්නේ ජනතාව නිසා කියන එක අමතක කරන්න එපා. අද බොහෝ අයට ඒක අමතක වෙලා තිබෙනවා. අපි දේශපාලන වේදිකාවේ එකිනෙකාගේ වැරැදි පෙන්වා දීලා පලක් නැහැ. අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අනෙකාගේ චරිතය ඝාතනය කරනවා වෙනුවට අපි මේ රටේ අනාගත දරු පරම්පරාව ගොඩනඟන්නේ කොහොමද කියා කල්පනා කරනවා. අපි විශ්වාස කරන බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වන පරිසරයක් තුළ අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කරන්නේ කොහොමද. අම්මා, තාත්තා දරුවන් උස් මහත් කරන්නේ හොඳ පුරවැසියෙක් බවට පත්කරන්නයි. ඔවුන්ට රැකියාවක් ලබාගන්න.
“දරුවා රස්සාවක් කරන්නේ සතුටින් ජීවත් වෙන්නයි; හොඳ ආදායමක් උත්පාදනය කරන්නයි. ඒ වැඩපිළිවෙළ කුමක්ද? අද බොහෝ දෙනකු සිතනවා දේශපාලනය කියන්නේ එකිනෙකාට මඩ ගහගන්න එකයි කියලා. නෑ, අපේ පරම්පරාවේ දේශපාලනය ඊට වඩා වෙනස්. ගොවියාට හොඳ ආදායමක් උත්පාදනය කර දෙන්න ඕනෑ. මේ මාතෘ භූමිය තුළ වවන්න පුළුවන් හැම බිම් අඟලකම අප වවන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයා කළා වගේ පොහොර ටික අප නොමිලේ දෙනවා. ඒ වැඩපිළිවෙළ අප සකස් කරනවා. පිටින් ගෙනල්ලා කන්න දෙනවා වෙනුවට අපේ රටේ වවලා ගොවියාට එහි ආදායම බෙදී යන විදියටත්, පාරිභෝගිකයා ආරක්ෂා වන විදියටත් අප පරිසරය හදලා දෙනවා. අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් තාක්ෂණය අප ගෙනත් දෙනවා.
“පාසල හැර යන දරුවාට, සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ ලියනවා නම් ලියන්න, උපාධියක් ගන්න පුළුවන් වගේම ඒ තරුණ තරුණියන්ට ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්න පුළුවන්, කාර්මික විප්ලවයට යන්න පුළුවන්, තාක්ෂණික ක්ෂේත්රයට යන්න පුළුවන් නිපුණතාව ප්‍රවර්ධනය කරන්න පුළුවන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට යන්න පුළුවන් වන විදියට අධ්‍යාපනයේ ප්‍රතිව්‍යූහගත කිරීමක් අපි කරමු. ඒ තුළ මවුපියන් අපේක්ෂා කරන දියුණු ලෝකයක් වගේම සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්, දියුණු සමාජයක් ගොඩනඟන්න පුළුවන් වැඩපිළිවෙලක් අපට තිබෙනවා.
“අපට ඉලක්කයක් තිබෙනවා. ඊළඟ අවුරුදු 10 ඇතුළත අපි මේ රටේ තරුණ තරුණියන්ට අවම වශයෙන් රැකියා ලක්ෂ 20ක් නිර්මාණය කළ යුතුයි. එය දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් වෙන්න පුළුවන්. රැකියා උත්පාදනය කළ යුතු වනවා. කර්මාන්ත ශාලාවක් නැති හැම ආසනයකම දේශීය විදේශීය ව්‍යවසායකයන් ගෙනැවිත් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න අප කටයුතු කරනවා. කුරුණෑගල තාක්ෂණ ගම්මානයක් පටන් ගත්තා. එය අතරමඟ නතර වුණා. අපි කැමැති තරුණ පරම්පරාව දියුණු වෙනවා දකින්නයි. අපිත් ඒ පරම්පරාව නියෝජනය කරන දේශපාලනඥයන්. අපට වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළ හා දැක්ම සමඟ එකතු වෙන්න. මේ මාතෘභූමිය නැවත වරක් දියුණු රටක් බවට පත්කිරීමේ අභියෝගය භාර ගන්න අප සූදානම්.”
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:
“අද මේ ස්ථානයේ සාර්ථක රැස්වීමක් පැවැත්වෙනවා. අනෙක් පක්ෂවල රැස්වීම් සඳහා ඈත දිස්ත්‍රික්කවලින් ජනතාව ගෙන්වනවා. ඒත් අපේ මේ රැස්වීමට පැමිණ තිබෙන්නේ මේ ආසනයේ ජනතාවයි. දිස්ත්‍රික්කයක් ලෙස අපට විශ්වාසයක් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දෙන්න කුරුණෑගල ජනතාව සමත් වුණා. එදා පටන් ගන්නා විට වගේ නොවෙයි අද වන විට අපි සාර්ථක ප්‍රගතියක් ලබා තිබෙනවා. තවත් රැස්වීම් අපට තිබෙනවා. මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයද පොහොට්ටුව දිනනවා. තව දින කිහිපයක් පමණයි තිබෙන්නේ. මහන්සි වෙලා වැඩ කරන්න. මේ පණිවිඩය ගෙනයන්න. මේ රට මෙහෙයවන්න පුළුවන් දක්ෂ නායකයෙක් ඉදිරිපත් කර තිබෙනවා. මේ රට නිර්මාණය කළේ, නිදහස දුන්නේ, වැඩිම සේවයක් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. මේ රටේ ආර්ථික වර්ධනය 7.3%ට ගෙනාවා. රට හදපු නායකයාගේ පුතා ඉතා හොඳින් ඇමැතිකම් කෙරුවා. අද නාමල් දැක්ම තුළින් තමන්ගේ වැඩපිළිවෙල ප්‍රසිද්ධ කර තිබෙනවා.”
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතාද මෙහිදී අදහස් දැක්වීය.
රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ජානක තිස්සකුට්ටිආරච්චි මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – සුලෝචන ගමගේ
මහින්ද අලුත්ගෙදර, මැල්සිරිපුර සිට…