25
කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය මඟින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ කිරුළපන රැලිය අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා:
“වර්තමානයේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්න සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. නාගරික සංවර්ධනය, ග්‍රාමීය සංවර්ධනය, වතු සංවර්ධනය ජීවනෝපාය ශක්තිමත් කිරීම, දස ලක්ෂයක් ව්‍යවසායකයන් බිහි කිරීම, නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීම, අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයකට යොමු වීම, තොරුතුරු තාක්ෂණය ප්‍රචලිත කිරීම වැනි මුළු ජන සමාජයම වෙළාගත්, රට ගොඩනඟන, රට ශක්තිමත් කරන නව දැක්ම ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර් 21 වැනිදාට රටේ ලක්ෂ 220කගේ ජන වරම අප බලාපොරොත්තු වෙනවා.
“කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙනවා. මහල් නිවාස සංකල්පය, නගර නිවාස සංකල්පය යළිත් වතාවත් සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරන්න අප අනිවාර්යෙන් කැප වනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගෙන් පස්සේ අගනුවරට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලක්. වර්තමාන ජනාධිපතිවරයා වාර ගණනාවක් අගමැති වෙලා තිබෙනවා දැන් ඔහු රටේ ජනාධිපති. ඒත් රටේ නිවාස ප්‍රශ්නයට තිරසර වැඩපිළිවෙළක් දියත් කරන්න නොහැකි වුණා. සැප්තැම්බර් 21 න් පසුව අගනුවර බලප්‍රදේශයේ නවීනතම සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මානව ජනාවාස වැඩසටහන යටතේ මුඩුක්කුවල, වතු නිවාසවල ජීවත් වන බහුතරයක් දුක්විදින ජනතාවට විසඳුම් දෙන්න අප කටයුතු කරනවා.
“ඒ වගේම ජනතාවගේ ජන ජීවිත ගොඩනඟන්න අප කැප වනවා. රටේ බහුතරයක් ජනතාව අසීරුවෙන් ජීවත් වෙන්නේ. රටේ දරුවන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මවුවරුන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. දරුවන් සහ මව කියන්නේ ජන සමාජයේ වටිනාම සම්පත.
පාසල් දූදරුවන්ට දිවා ආහාර ලබාදෙන ලෙස ඉල්ලීම කළ පසු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මට හිනා වුණා. ජනතාවට සහන දෙන්න කිවුවාම මට විහිළු කරනවා. දැරියන්ගේ සෞඛ්‍ය ගැන කතා කළාම මට විවිධ පද හැදුවා. ඒත් සත්‍යය කවදා හෝ ජය ගන්නවා. සැප්තැම්බර් 21 වැනිදා අනිවාර්යයෙන් සත්‍යය ජය ගන්නවා. සැප්තැම්බර් 21 වැනිදා ලක්ෂ 220ක් ජන ජිවිත සුඛිත මුදිත කරන්න කටයුතු කරනවා. ඔබ සියලු දෙනා එක්සිත්ව එක්සත්ව අපේ ජයග්‍රහනය වෙනුවෙන් ඔබගේ ශක්තිය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
“රටට තිබෙන එකම විකල්පය සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය පමණයි. රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක අද දේශපාලන ජෝඩවක් බවට පත් වෙලා අවසානයි. ඒ දෙපළගේ එකම අරමුණ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වළක්වන්නයි. ඒ සඳහා ඔවුන් දෙදෙනා සිදු කරන්න පුළුවන් සැම කුමන්ත්‍රණයක්ම කරනවා. මේ දෙන්නාම රාජපක්ෂවරුන්ගේ කැබිනට් මණ්ඩලයේ සිටියා. ඒත් කිසිම දවසක රට බංකොලොත් කළ පිරිස වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ සමඟි ජනබලවේගය පෙනී සිටියේ නෑ. ඒ නිසා සැප්තැම්බර් 21 වැනිදා රටේ ජනතාවගේ වටිනා ඡන්ද දුරකතනය වෙනුවෙන් භාවිත කොට රට ප්රගතිශීලි හැරවුම් ලක්ෂ්යයකට ගෙන එ්මට මුල පුරන්න කියලා ඉල්ලා සිටිනවා.”
සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා:
“සජිත් ප්‍රේමාදස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන ජනතාවට දෙන සහනාධාර ප්‍රමාණය දෙන්නේ කොහොමද කියලා බොහෝ පිරිසක් ප්‍රශ්න කරනවා. ගොවීන්ට පොහොර දෙනවා කිවුවාම, ජනසවිය වැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කිවුවාම බොහෝ දෙනෙක් අහනවා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න මුදල් කොහෙන්ද කියලා. මේ සියල්ල සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ රටේ පවතින ආර්ථික තත්ත්වය දැනගෙනයි. ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තිබෙන නිසා තමයි අප මේ සහනාධාර දෙන්න කටයුතු කරන්නේ.
“සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමට විවිධ පුද්ගලයන් බාධා කරනවා. මොන බාධක පැමිණියත් සැප්තැම්බර් 21 වැනිදා ජනනාධිපති මැතිවරණයෙන් ජය ගන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව තහවුරු වෙලා අවසානයි. ජාතික ජන බලවේගයේ පිරිස් විසින් සමඟි ජන බලවේගයේ පාක්ෂිකයන්ට හිරිහැර කර තිබෙන බවට අපට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. සැප්තැම්බර් 21 වැනිදා ප්‍රජාතන්ත්‍රවදාය අගය කරන පාලකයෙකු අතට රටේ පාලනය නොගිය හොත් ඇති වන විනාශය බරපතළයි. ඒ නිසා පරිස්මෙන් තමන්ගේ ජන මතය තීන්දු කරන්න කියලා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා:
“සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද පාර්ශ්ව ගණනාවක් එකතු වෙලා තිබෙනවා. සියලු ජාති නියෝජනය කරන, සියලු ආගම් නියෝජනය කරන කණ්ඩායම් සියල්ල අද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒකරාශි වී සිටිනවා. ඒ වගේම මෙවර ජනාධිපති ධුරයට තරග කරන නාමල් රාජපක්ෂව අත්හැරලා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් එළියට බැහැලා තිබෙනවා. නාමල් රාජපක්ෂව ආරක්ෂා කරන්න අද රාජපක්ෂ පවුල විතරයි ඉන්නේ. රාජපක්ෂවරුන් අද රටේ ජනතාව ප්‍රතික්ෂේප කර අවසානයි.
“සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ රටට වැඩක් කරපු නායකයෙක්. ඔහු විපක්ෂයේ සිටින කාලයේ රටේ පාසල්වලට, රෝහල්වලට අවශ්‍ය උපකරණ පිරිනමන්න කටයුතු කළා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා සමඟ රට භාර ගන්න දක්ෂ පළපුරුදු කණ්ඩායමක් සිටිනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙමු.”
සමඟි ජන බලවේගයේ කඩුවෙල ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
රක්ෂණ ශ්‍රියන්ත