18
දයා පතිරණ මරා ගල්කටස් විප්ලවය පටන්ගත් ජනතා විමුක්ති පෙරමුණ, අද ජයවර්ධනපුර කලා පීඨයේ සිසුන්ගේ ඔළු පළා තඹුත්තේගම විප්ලවය පටන් ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය. මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ රත්තොටදී පසුගියදා පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී මන්ත්‍රීවරිය වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළාය:
“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වානිජ්‍ය පිඨයේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ කලා පීඨයේ පෙරටුගාමී පක්ෂයේ අයට පහර දීලා දැන් විශ්වවිද්‍යාලය වහලා දාලා. හැමදාම ඡන්දයක් ළං වෙන කොට විරුද්ධවාදීන්ගේ ඔළු පළලා, කැම්පස් වහලා, ශිෂ්‍යයෝ ටික කැන්වසිං යවන එක තමයි ජවිපෙ කළේ.
“දයා පතිරණගේ බෙල්ල කපලා බණ්ඩාරගම හිරණ තොටුපොළේ දමාගිහින් තිබුණා. අද ජයවර්ධනපුර, කොළඹ, කැලණියේ, රුහුණේ ජවිපෙට විරුද්ධව දේශපාලනය කරන ශිෂයන් ටික බය වෙලා ඉන්නවා තමන්ටත් ඒ ඉරණම අත්වෙයි කියලා. තරුණයෝ බයයි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ඊළඟ නායකයා වෙච්ච එල්.කේ. ධර්මසිරි 1989 ඔක්තෝබර් වල මරලා දැම්මා වගේ තමන්වත් මරා දමයි කියලා.
“ජාතික පුස්තකාලයේ පොඩි පක්ෂයෙක් රැස්වීමක් තියෙනවා. එතන කතා කරපු නීතිඥවරයකු ජවිපෙ මහින්ද රාජපක්ෂ එක්ක, යහපාලන ආණ්ඩුව එක්ක වැඩ කරපු ආකාරය ගැන කියන කොටම පොලු අරගෙන ඒ රැස්වීමේ හිටපු අයට ගහනවා. ජවිපෙ කාඩර් එක හැසිරෙන්නේ ගල්කටස් විප්ලවය පටන්ගත් කාලේ වගේමයි. අනුර කුමාර කියනවා මේ රටේ පාලකයෝ රටේ අධ්‍යාපනය හැදුවේ නෑලු. පක්ෂවලට පෝස්ටර් ගහන්න කොල්ලෝ ඕනෑ නිසා. ලංකාව වටේම කැට හොල්ලන්නේ ජවිපෙ කැම්පස් ළමයි ටික; රට පුරා පෝස්ටර් ගහන්නේ ජවිපෙ කාර්මික විද්‍යාලවල, ඉස්කෝලේ යන ළමයි ටික. එහෙම කරන ගමන් කියනවා ප්‍රධාන පක්ෂ අධ්‍යාපනය නැති කළා කියලා. ජවිපෙට වැඩ කරන බහුතරයක් ප්‍රධාන පක්ෂ ඇති කරපු අධ්‍යාපන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත්ත අය. අපේ පක්ෂ හදපු මහපොළ ශිෂ්‍යත්වය අරගෙන ඉගෙනගත්ත අය. මේ රටේ බලයට පත් වෙච්ච හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනය නඟාසිටුවන්නට වැඩ කළා.
“නිදහස් අධ්‍යාපනයේ පියා අපේ පක්ෂයේ සී.ඩ්බ්.ඩබ්. කන්නන්ගර මහතා මධ්‍ය මහා විද්‍යාල හදලා ගමේ මිනිස්සුන්ට රටේ ඉහළම තැනට යන්න අවස්ථාව හදලා දුන්නා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බද්උදීන් මොහොමඩ් මැතිතුමාට අධ්‍යාපනය භාර දීලා මේ රටේ දෙමළ – මුස්ලිම් ජනතාවට අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කළා. ගුරු පුහුණුව, පාසල් ගොඩනැඟිලි හදලා පහසුකම් වැඩි කළා. ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවේ අධ්‍යාපනය ලෝකයට විවෘත කළා. ලලිත් ඇතුළත්මුදලි මහතා මහපොළ හදලා දරුවන්ට නිදහසේ අධ්‍යාපනය කරගෙන යන්න ශක්තිය දුන්නා. මහින්ද ජනාධිපතිවරයා මහින්දෝදය වගේ වැඩසටහන් හදලා පහසුකම් වැඩි කළා. ජවිපෙ මේ රටේ අධ්‍යාපනයට මොකද කළේ? ස්ටැන්ලි විජේසුන්දර කොළඹ උපකුලපති මැරුවා; මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන මැරුවා; 87-89 ගල්කටස් විප්ලවය නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 107ක් මැරුණා. කැලණියේ සිසුන් 64ක් මැරුණා. රුහුණේ සිසුන් 53ක් මැරුණා. පේරාදෙණියේ වෛද්‍ය, දන්ත, පශු පීඨවල විතරක් සිසුන් 22ක් මැරුණා. කොළඹ වෛද්‍ය සිසුන් 22ක් මැරුණා. ජවිපෙ විසින් මරපු ලැයිස්තු කියන්න පැය ගානක් ඕනෑ. ජවිපෙ නිසා උසස් අධ්‍යාපනය අහිමි වෙච්ච ගාන මහා පතරංග ජාතකේ වගේ දිගයි. බලය ලබාගන්න ඉස්සර මේ විදිහට භිතිය වපුරනවා නම්, ගහනවා නම් මේ අයට බලය දුන්නොත් කොහොමට තියෙවිද?”
නුවන් කොඩිකාර