24
පාකිස්තානයේ පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට සහ අධ්‍යාපනය නඟා සිටුවීමට රජයට ප්‍රමාණවත් මුදල් නොමැති වීමෙන් එරට පාසල් සිසුන් මිලියන 26කට අධික පිරිසක් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව සිටින බව එරට අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාකිස්තානයේ මේ වනවිට දරුවන් මිලියන 26.20කට පාසල් අධ්‍යාපනය අහිමි වී ඇති බවත්, ඒ අතර අවුරුදු 5-9 අතර දරුවන් මිලියන 10කට වඩා සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව අවුරුදු 10-12 අතර වයස් කාණ්ඩයේ දරුවන් මිලියන 5කට අධික පිරිසක් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව සිටින බවත්, අවුරුදු 13-14 වයස් කාණ්ඩයේ දරුවන් මිලියන 4.5ක් ද, අවුරුදු 13-16 වයස් කාණ්ඩයේ දරුවන් මිලියන 6ක් ද මේ වනවිට පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
පළපුරුදු ගුරුවරුන් බඳවා ගැනීම, පාසල් සඳහා විද්‍යාගාර පිහිටුවීම, තොරතුරු තාක්ෂණික දැනුම ලබාදීම ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය අසමත්වී ඇති අතර, වර්තමානයේ පවතින දරුණු ආර්ථික අර්බුදය විසඳීමට අවධානය යොමු කිරීමට සිදුවීමෙන් පාකිස්තාන රජයට පාසල් අධ්‍යාපනය කෙරෙහි ඇති අවධානය පහත වැටී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.