29
බංග්ලාදේශයේ උද්ගත වී ඇති ඇඟලුම් කර්මාන්තශාලා වැසී යෑමේ අර්බුදය කඩිනමින් විසඳීමට අසමත්වුවහොත් එළැඹෙන සීත සෘතුවේදී විදේශීය ඇඟලුම් ඇණවුම්කරුවන්ගේ ඉල්ලුම සපුරාලීමට නොහැකිවීමෙන් බංග්ලාදේශයේ ජාත්‍යන්තර ඇඟලුම් අපනයනය සැලකිය යුතු අයුරින් බිඳ වැටෙන බවට එරට ඇඟලුම් කර්මාන්ත හිමියන් අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශිෂ්‍ය නායකත්වයෙන් යුතු බහුජන ව්‍යාපාරයක් විසින් ගෙන එනු ලැබූ නායකත්වයේ වෙනසත් සමඟ බංග්ලාදේශයේ මතු වී ඇති වත්මන් අර්බුදය ඉතා අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී ඇතැයි ද, එරට ඇඟලුම් නිෂ්පාදකයන් ඉදිරියේදී ජාත්‍යන්තර අපනයනය නිසි වේලාවට සහ අවශ්‍යතාව පරිදි ඉටු කිරිමට නොහැකි වනු ඇතැයි කනස්සල්ලට පත්වී සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ආර්ථික වශයෙන් බංග්ලාදේශය අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවක ලෝක ඇඟලුම් අපනයන ක්ෂේත්රයේ දෙවැනි විශාලතම රට වන බංග්ලාදේශයට විදේශීය ගැණුම්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීමට නොහැකි වුවහොත් සමස්ත රටටම ඉන් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
වැඩි වැටුප් ඉල්ලා ඩකා අගනුවර පිහිටි ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රවේශ දොරටුව අසළින් ආරම්භ වූ විරෝධතාව සියලු කර්මාන්තශාලා වෙත පැතිරී ගොස් ඇති අතර, ඇඟලුම් ආයතනවලට ප්‍රහාර එල්ල කළ සේවක සේවිකාවන් ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරීමට පටන් ගත් බවත් බංග්ලාදේශයේ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.