Home Politics News Room : අත්හදාබලන්න කාලයක් නෑ: මෙවර තීරණය වැරදුණොත් රට ඉවරයි

News Room : අත්හදාබලන්න කාලයක් නෑ: මෙවර තීරණය වැරදුණොත් රට ඉවරයි

0
0

“නෙළුම් කුලුන කේන්ද්‍ර කොට ගෙන මේ රටේ තාක්ෂණ ගම්මාන ගණනාවක් ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ තරුණ පරපුර තාක්ෂණයත් සමඟ ඉදිරියට ගමන් කළ යුතුයි. එමඟින් මේ රටේ දරුවන් වෙනුවෙන් රැකී රක්ෂා උත්පාදනය කරන වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා.”

මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක නාමල් රජපක්ෂ මහතා එසේ පැවසුවේ ඉකුත් 11 දින සවස ජා ඇළ මැතිවරණ කොට්ඨාසයේ කඳාන ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“මේ රටේ ආණ්ඩු වෙනස් වන විට සිදු වන හොඳ නරක සියලු ප්‍රතිපත්ති වෙනස්වීමේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි. මොන ආණ්ඩුව බලයට පත්ව ආවත් රටේ, ඒ වගේම පොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක වන රටට යහපතක් වන සංවර්ධන කටයුතු ඉදිරියටම කරගෙන යා යුතු වෙනව‍ා. පසුගිය කාලයේ පෝට් සිටි එකට විපක්ෂ දේශපාලනඥයන් පළු යන්න බැන්නා. සමහරු චෝදනා කළා කළු සල්ලි සුදු කරන්න පෝට් සිටි එක හැදුවා කියල. නමුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා සිටින ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පෙන්වා දී තියෙන්නේ ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ගොඩනැඟීමට ප්‍රධාන කේන්ද්‍රස්ථානය පෝට් සිටි බව. මැතිවරණයක් එන විට රටේ පොරොන්දු දේශපාලන ක්‍රමවේදයක් ගොඩනැඟෙනවා. මීට මාස දෙකකට කලින් රාජ්‍ය සේවකයන් තම මාසික පඩිය පොඩ්ඩක් වැඩි කරන්න කීවාම එහෙම කරන්න බැහැ, එහෙම කළොත් බදු බර වැඩි කරන්න වෙනවා කියලා ලොකුවට කතා කළ සමහරුන් අද රාජ්‍ය සේවකයන්ට දහස් ගණනින් වැඩි කරන්නම් කියලා මැතිවරණ වේදිකාවේ බෙරිහන් දෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ රට ගොඩනඟන දේශපාලන බලවේගයක්. මේ රටේ සංවර්ධන ඉතිහාසයේ වැඩිම සංවර්ධන කටයුත්තක් කළ දේශපාලන බලවේගය තමයි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන බලවේගය. රටේ අනාගත පරපුර වෙනුවෙන් සිතා සංවර්ධන ව්‍යාපෘති වැඩියෙන්ම ක්‍රියාත්මක කළේ පොදු ජන පෙරමුණ ආණ්ඩුවයි. අපි විශ්වාස කරනවා දේශීය ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකින් දිරිමත් කරලා ආරක්ෂා කරලා මේ රටේ ආරථිකයට එමඟින් විශාල ශක්තියක් ලබා දිය හැකි බව. ඒවගේම මේ රටේ සියලු ආගමිකයන්ට, ජාතිකයන්ට නිදහසේ ජීවත්වීමට පරිසරය අප නිර්මාණය කරනවා. අද පොදු ජන පෙරමුණ නැවුම් පොහොට්ටුවක් පිපෙන ආකාරයෙන් තරුණ ජවයත් සමඟ නැඟී සිටිනවා. ජාතික ජන බලවේගය එදා පැවසුවේ මැතිවරණ කාලයේ කටවුට් එපා කියලා. නමුත් අද රටේ වැඩියෙන්ම කටවුට් පෝස්ටර් ගහලා තියෙන්නේ ජාතික ජනබලවේගය විසින් බව ජනතාවටම බලා ගන්න පුළුවන්. රතු මල්ලිලා කියන්නේ එකක්, කරන්නේ තව එකක්. මෙවර ජනපති මැතිවරණය තීරණාත්මක එකක්. අපේ රට අද පත්වෙලා තියෙන තත්ත්වය අනුව අත්හදාබැලීම් කරන කාලයක් නොවෙයි මේක. ජනතාව මෙවර වැරදී තීරණයක් ගත්තොත් රටත් ඉවරයි. රටේ අනාගත පරම්පරාවත් ඉවරයි.”

 

ජා-ඇළ විශේෂ – තිස්ස කොටින්කඩුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here