23
අපට අවශ්‍ය ජාතික සමගිය තිබෙන, සියලු දෙනා සහෝදරත්වයෙන් ජීවත් වන රටක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ, රට අනුරට, ජාතික ජන බලවේගයේ සයින්දමරුදු රැලිය පසුගියදා (13) අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
දීර්ඝ කාලයක් අපේ රට මේ පාලකයෝ පාලනය කළා. රටත් ජනතාවත් දුප්පත්කමේ පතුළටම වැටුණා. පාලකයෝ ගොඩනැඟුණා, රට වැටුණා. අපි මෙම 21 වැනිදා ජනාධිපතිවරණය දිනා ආණ්ඩුවක් හදා ගනිමු. මේ රට ගොඩනඟන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි හදා ගනිමු. මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නියතයි. දකුණේ ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ජාතික ජන බලවේගයත් සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. මේ සයින්දමරුදුවල ජීවත්වන මුස්ලිම් ජනතාවගේ තීන්දුව මොකක්ද? ඔබලා හඬගා කියන පරිදි ජාතික ජන බලවේගය දිනවීම ස්ථිරයි.
අපේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා අද අපට විරුද්ධ පාර්ශ්වයන් අපට එරෙහිව අවලාද මඩ සහ අසත්‍ය තොරතුරු පතුරුවමින් ඉන්නවා. ළඟදී මෙහෙට ආවාද හිස්බුල්ලා මහතා. ඔහු ඇවිත් අප ගැන අවලාද බොරු ගොඩක් ප්‍රකාශ කරළා තිබෙනවා. මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් සමරන අවස්ථා දෙකක් තිබෙනවා. එකක් රාමසාන් උත්සවය. අනෙක හජ්ජි උත්සවය. හිස්බුල්ලා කියල තියෙනව අප ආවහම එකක් නතර කරනවා කියල. හිස්බුල්ලාගෙ ඔළුව පරීක්ෂා කරලා බලන්න ඕනෑ. එයා තව කියල තියෙනවා ජනතාවට පල්ලි යන්න දෙන්නෙ නෑලු. මේගොල්ලො මුස්ලිම් ජනතාව ළඟට ඇවිල්ල එහෙම කතාවක් කියනවා. ඒගොල්ලන්ගේ වේදිකාවට ගොඩවෙන සමහර හාමුදුරුවරු කියනවා අප ආපුවහම දානවේල හම්බවෙන්නෙ නැතිලු. ඒව දේශපාලන කතාද? ඒව දේශපාලන විවේචනද? ඒවාට කියන්නෙ අවලාද. ඒවට කියන්නෙ අසත්‍යය. ඇත්තටම ආගම් පිළිබඳ ගෞරවයක් තිබෙනවා නම් ආගම් පිළිබඳ නිදහස ඇත්තටම අපේක්ෂා කරනවා නම් දේශපාලන වේදිකාවෙ කියන්න ඕන නැති කරුණු ඒවා. ඒවා ආගම්වාදය අවුස්සන කතා. අප සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාව ජීවත්වන රටක් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි කියල ආගම් ගණනාවක් අදහන රටක් දෙමළ, සිංහල ප්‍රධාන භාෂා දෙකක් කතා කරන ජනතාවක් ඉන්න රටක්. සිංහල අයට තමන්ගේම වූ අනන්‍යවූ සංස්කෘතියක්. දෙමළ අයට අනන්‍යවූ සංස්කෘතියක්, මුස්ලිම් අයට අනන්‍ය වූ සංස්කෘතියක් සහිත සංස්කෘතීන් ගණනාවක් එක්ක ජීවත්වන රටක්, අපේ රට. ඒ නිසා මේ රටේ අනාගතය පවතින්නෙ මෙම විවිධත්වයන් සහිත ජන කණ්ඩායම් අතර සමගිය හැදුණොත් විතරයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ පාලනයක් එන්නේ ඔබේ ආගම ඇදහීමේ අයිතිය, භාෂාව කතා කිරීමේ අයිතිය ලබාදෙන පාලනයක්. ඔබේ සංස්කෘතික අනන්‍යතාව පිළිගන්න නිදහස් රටක් හදන එක තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව.
දැන් හිස්බුල්ලා මහතා බොරු අසත්‍ය පතුරුවන්නට පටන් අරගෙන තිබෙනවා. අපි අපේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. කවර හෝ ආගමක් පිළිබඳව, සංස්කෘතියක් පිළිබඳව, භාෂාවක් පිළිබඳ කවුරුහරි අන්තගාමී අදහසක් ඉදිරිපත් කරනවා නම්, එයාට විරුද්ධව පැමිණිලි කරල නීත්‍යනුකූල දඬුවම් ලබාදීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මඟින් දේශපාලනයට ආගම්වාදී ප්‍රකාශ ජාතිවාදී ප්‍රකාශ කියන, කරන එක නතර කරන එක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වගකීම.
අපට ඕන ජාතික සමගිය තිබෙන රටක්. ඔක්කොම සහෝදරත්වයෙන් ජීවත්වන රටක්. ඒ නිසාම තමයි අප ඔබව හමුවෙන්න ආවේ. මෙම 21 වැනිදා අප දිනන්න ඕනෑ. දකුණේ ඉන්න ජනතාවගේ විශ්වාසයෙන් විතරක් නොවෙයි නැඟෙනහිර තමුන්නාන්සේලාගේ විශ්වාසයත් අපට ඕනෑ. උතුරෙ ජනතාවගේ විශ්වාසයත් අපට ඕනෑ. ලංකාවේ පළමු වතාවට දකුණේ ජනතාවද නැඟෙනහිර ජනතාවද උතුරේ ජනතාවද කඳුකරයේ ජනතාවද පිළිගන්න ආණ්ඩුවක් හදමු. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත්තු ආණ්ඩුවක් අප හදනවා.
ඔයගොල්ලො දන්නවා මීට කලින් දේශපාලන පක්ෂ තරගෙට එන්නෙ කොහොමද? සජිත් එන්නෙ හකීම් කරේ තියාගෙන. අප එන්නෙ ජනතාව කරේ තියාගෙන, ඔබගේ විශ්වාසයෙන්. අන්න එහෙම එකමුතුවේ ව්‍යාපාරයක් අද හදා තියෙනවා. ඒක දෙමළ ජනතාව, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂයක්. නායකයෝ නියෝජනය කරන එකක් නොවෙයි. ඒක තමයි ජාතික ජන බලවේගය. අද මෙතන දහස් සංඛ්‍යාත මුස්ලිම් ජනතාව අපේ සහෝදරියන් සහෝදරවරු එකතුවෙලා අපට කියන්නෙ මොකක්ද? ඔබලාට ස්තුතියි අපව විශ්වාස කිරීම ගැන. මම ඔබට එක සහතිකයක් දෙනවා, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින්වත් හානි නොකොට එය ආරක්ෂා කරන බවට.
ජාතිවාදයට නොවැටුණු ඒ මඩ ගොහොරුවේ නොගිලුණු එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. මම ඔබගෙන් අහන්නෙ කාවද තෝර ගන්නෙ. තෝරගන්න තියෙන්නෙ ජාතික ජන බලවේගය විතරයි.
මේ දේශපාලනයේ කැත සූදුවක් තිබෙනවා. එහෙට පනිනවා මෙහෙට පනිනවා. එහෙන් කුට්ටිය ගන්නවා මෙහෙන් කුට්ටිය ගන්නවා. ගිය මාසේ බණිනවා මේ මාසේ ගිහින් බදා ගන්නවා. මේක වෙනස් කළ යුතු නැද්ද? ඕනෑ. එන අයට ලැජ්ජත් නැහැ. ගන්න අයට ලැජ්ජත් නැහැ.
මහරගම බොදු බලසේනාවෙ වේදිකාවෙ නැග්ග චම්පික රණවක, දැන් සජිත් ප්‍රේමදාස මහතා එක්ක. රිෂාද් බදියුදීන් එයත් සජිත් ප්‍රේමදාස මහතා එක්ක. සජිත් ප්‍රේමදාස නැඟෙනහිරට එනකොට හකීම්ව අරගෙන එනවා, චම්පික හංගල එන්නෙ. මාතරට යනකොට හකීම්ව හංගල චම්පිකව අරගෙන යනවා. මන්නාරමට යනකොට රිසාද් බදියුදීන්ව අරගෙන යනව චම්පිකව හංගල යනවා. ගාල්ලට යනකොට රිසාද්ව හංඟලා චම්පිකව අරන් යනවා. ප්‍රතිපත්තියක් නැති දේශපාලනයක්. අද උතුරට ගිහිල්ලත්, දකුණට ගිහිල්ලත් නැඟෙනහිරට ගිහිල්ලත් එකම කතාවක් කියන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. අප මේ සෙල්ලම කොළේ හංගල ‘ප්ලේ’ කරන්නේ නැහැ. ඒගොල්ලො කොළ හංගල ගහන්නෙ. මේ ජරා දේශපාලනයම ඇති මේගොල්ලන්ව පරාජය කරන්න. මේ ඔක්කොම සලකා බලල අප මෙම 21 වැනිදාට හොඳ තීන්දුවක් ගන්න ඕනෑ. අප ආණ්ඩුවක් හදනවා, වරප්‍රසාද අත් හරින දේශපාලකයෝ ඉන්න.
ඔබ දන්නවා මේ රටේ කුඩු ජාවාරම, පාතාලය පිටුපස ඉන්නේ දේශපාලකයන්. මේ මැතිවරණයට ඒගොල්ලෝ වියදම් කරන්නේ කුඩු ව්‍යාපාරිකයන්ගේ සල්ලි. අපේ රටේ නීතිය හා සාමය රකින්න ඕනෑ. කුඩු ව්‍යාපාරය තුරන් කරන්න ඕනෑ. අන්න ඒ වැඩ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අප මේ රටේ ආර්ථිකය හදනවා. නිෂ්පාදනය වැඩි දියුණු කරනවා. මේ පාලකයෝ කිසිදාක ඒවා කරන්නේ නැහැ. මේගොල්ලෝ කැමති හැම දෙයක්ම රටින් ගෙන්වලා මෙහෙ විකුණන්න ක්‍රමයට. එතකොට තමයි පාලකයන්ට කොමිස් කුට්ටි එන්නේ.
උපාලි කරුණාරත්න