1
රණසිංහ ප්‍රේමදාස මහතා දියත් කළ කර්මාන්ත විප්ලවයේ ඊළඟ පියවර ඉදිරියට තබා අපනයන කේන්ද්‍රීය ආර්ථිකය දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කර ජනතාව ශක්තිමත් කොට සවිබල ගන්වන්නට අනිවාර්යයෙන්ම කැපවෙන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පසුගියදා (12) කටුකුරුන්දේදී පැවැත්විණි. එම ජන රැලිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
“සැප්තැම්බර් 21 වැනිදා අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ සන්ධානයට අවස්ථාව ලබා දෙනවා ද එහෙම නැත්නම් මේ රටේ ගම් නියම්ගම් නගර සිසාරා දැවැන්ත සංවර්ධනයක් තුළින් කඩා වැටුණු දේශය යළි ගොඩනඟන්නට අලුත් දර්ශනයකට අලුත් වැඩපිළිවෙළකට අලුත් සංවර්ධන රටාවකට පොදු ජන යුගයකට ඔබගේ වරම ලබා දෙනවා ද කියන තීන්දුව තිබෙන්නේ රටේ ජනතාව සතුවයි.
සැප්තැම්බර් 21 වැනිදාට මේ රටේ ජනතාව පොදු ජන යුගය බිහි කරන්නට අපට ශක්තිය ලබා දෙනකොට කළුතර දිස්ත්‍රික්කය ශක්තිමත් සංවර්ධනයක් කරා ගෙනයන්නට අප අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ඇතුළු නිදහස් වෙළෙඳ කලාප ආරම්භ වෙලා තිබෙනවා. අප ඒවාට ඍජු විදේශ ආයෝජන ලබා ගන්න කටයුතු කරනවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ ඉඩමක් නැති නිවෙසක් නැති ජනතාවට තමන්ගේම කියන ඉඩමක නිවෙසක අයිතිය ලබාදීමට කටයුතු කරනවා. ගම්උදා නගරඋදා ව්‍යාපෘති තුළින් කළුතර දිස්ත්‍රික්කය ශක්තිමත් කරන්න කටයුතු කරනවා.
සංචාරක කර්මාන්තය වැඩිදියුණු කරමින් කළුතර දිස්ත්‍රික්කයේ ආර්ථික නවෝදයේ ඉදිරි ගමන තවදුරටත් දිරිගන්වන්න අප කටයුතු කරනවා.
ඒ වගේම ධීවර කර්මාන්තය සුහුරු කර්මාන්තයක් බවට පත් කරනවා. අප ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කරනවා. අප යෝජනා කරලා තිබෙනවා නාගරික ග්‍රාමීය දුප්පත් ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ජනසවියේ, සමෘද්ධියේ, අස්වැසුමේ හොඳ ගුණාංග එකතු කරලා අඩු පාඩු ඉවත් කරලා දුගී දුප්පත්භාවය තුරන් කිරීමේ නව වැඩසටහනක් දියත් කරනවා. කවුරුත් කැමැති නෑ සදාකාලිකව දුප්පතුන් වෙලා ජීවත් වෙන්න. කවුරුත් කැමැති නෑ සදාකාලිකව වහලුන් වෙන්න. දුප්පත්භාවයෙන් පෙළෙන ජනතාව දුප්පත්භාවයෙන් මිදීමට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන අලුත් වැඩසටහනක් දියත් කරනවා. ඒ අනුව සෑම දුප්පත් පවුලකටම මාසයකට රුපියල් 20,000ක මූල්‍ය ශක්තියක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම දුප්පත්භාවය තුරන් කරන යුගය මාතෘ භූමියේ යථාර්ථයක් බවට පත්කරන්න අප කටයුතු කරනවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන ගම් නගර සියල්ල ශක්තිමත් කරනවා. අප දියුණු කරනවා, සංවර්ධනය කරනවා, ජාති ආගම් භේදයකින් තොරව ජනතාව රැක ගන්න අප කටයුතු කරනවා. ඒ වගේම සැප්තැම්බර් 21 වැනිදාට බිහිවන පොදු ජන යුගය තුළ මේ රට විනාශ කළ, මේ රට බංකොලොත් කළ, පිරිස් නීතිය හමුවට ගෙනැවිත් අනිවාර්යයෙන් රටට අහිමි වුණු මුදල්, දේපළ අපේ රටට ලබාගන්න අප අනිවාර්යයෙන් කටයුතු කරනවා.”
ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,
“මෙවර ජනාධිපතිවරණයට අප මුහුණ දෙන්නේ රට බරපතළ ප්‍රපාතයකට වැටී තිබෙන අවස්ථාවක. මේ ප්‍රපාතයෙන් ගොඩ ඒම ලේසි නෑ. නමුත් ලෝක ඉතිහාසයේ මීට වඩා ප්‍රපාතයන්ට වැටුණු රටවල් අප දැකලා තිබෙනවා. ඒවායින් අපට පාඩම් ඉගෙන ගන්න පුළුවන්.
දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය පොළොවට සමතලා වුණා. ඒ වගේම ජපානය දෙවැනි ලෝක යුද්ධයේදී විනාශ වෙලා ගියා. නමුත් ජර්මනිය, ජපානය යළි නැඟී සිටියා. ඒ වගේම ලෝකයේ නැඟිට්ට රටවල් ගිය මාර්ගයේ ලංකාවත් අප අරගෙන යන්න ඕනෑ.
සමගි ජන සන්ධානය සමඟ එකතු නොවී සාම්ප්‍රදායික කණ්ණාඩි දාගෙන සිටින සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමදාස දෙස, සමගි ජන සන්ධාන වේදිකාව දෙස ප්‍රශ්නාර්ථයක් සහිතව බලන්න එපා. උපේක්ෂාවෙන් බලන්න. සමගි ජන බලවේගය දෙන පණිවිඩය පාට කණ්ණාඩිවලින් බලන්න එපා මධ්‍යස්ථව ඉඳලා බලන්න. සියලු ආගම් සියලු ජාතීන් එකමුතුව රටම පිළිගන්න විශ්වසනීය නායකයා, සංවේදී නායකයා සැප්තැම්බර් 21 වැනිදා රටේ නායකයා බවට පත් කරන්න සියලු දෙනාටම එකතු වෙන්න කියලා අප ආරාධනා කරනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා,
“මේ රටට විශාල හානියක් ජනතා විමුක්ති පෙරමුණ සිදු කළා. ඒ සියලු පාඩු ඩොලර් බිලියන 500ට වැඩියි. විනාශ වුණු ජීවිත ප්‍රමාණය කිව නොහැකි තරම්. පෞද්ගලික විශ්වවිද්‍යාල වැහුවා. පෞද්ගලික විශ්වවිද්‍යාල වහලා දැම්මේ අනුර කුමාර දිසානායක. දැන් ධනවාදය ගැන කතා කරනවා. තඹුත්තේගම ගොවි පවුලක ඉපදිලා. ඒක මධ්‍ය මහා විද්‍යාලයක් කළේ අපි. ඒකට ගිහිල්ලා, කැම්පස් එකට ගිහිල්ලා, පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද අනුර කුමාර අඳින කමිසය 75,000යි. කලිසම 50,000යි. අප ඊර්ෂ්‍යා නැහැ. එන වාහනය ලක්ෂ 400යි. අනුර කුමාර රට යනකොට යන්නේ බිස්නස් ක්ලාස් ඒකේ. මේ අන්තිම මාස ටිකේ බිල ලක්ෂ 700යි. එංගලන්තෙට, ජර්මනියට, ප්‍රංශයට, අමෙරිකාවට සංචාරවලට. මුළු ලෝකයම වැලඳගෙන අද අනුර කුමාර දිසානායක උග්‍ර ධනවාදියකු වෙලා ඉන්නවා. ”
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.
රක්ෂණ ශ්‍රියන්ත