1
වසර පහළොවක දේශපාලන ඉතිහාසය තුළ මා ලද අත්දැකීම් මත විකෘති වූ පක්ෂ දේශපාලනය පිළිබඳව ඇතිවූ විශාල කලකිරීම නිසා මා පක්ෂ දේශපාලනයෙන් ඉවත්වී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේ යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා කඩවත නගරයේ පැවති ජනහමුවට එක්වෙමින් පැවසීය.
රැස්ව සිටි කඩවත ජනතාව ඇමතූ සරත් ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය.
“පහුගිය කාලයේ අරගලයේ පිරිස මගෙන් ඇහුවා ඔබතුමා අරගලයට ආශීර්වාද කරනවා නම් ඇයි පක්ෂයක සාමාජිකත්වයේ ඉන්නෙ කියලා. එදා මම ඔවුන්ට කිව්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ඔවුන්ගේ වටිනා ඡන්දයෙන් මාව පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවපු වගකීම ඉෂ්ට කළයුතු නිසා මම තව රැඳී ඉන්න බව. දැන් මම ස්වාධීන පුද්ගලයෙක්. අද මම අරගලයට පණ දුන් අපේ රටේ තරුණ පරපුරට කියනවා දැන් මම නිර්පාක්ෂික පුද්ගලයෙක් එන්න මා සමඟ එකතුවෙන්න අපි මේ දූෂිත දේශපාලනයෙන් මේ රට බේරා ගනිමු කියලා. ඒ වගේම ඔබ මේ වතාවේ ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරනකොට පක්ෂ පාට හිතවත්කම් නායකයන්ගේ සිනහ මුහුණු සියල්ල අමතක කරලා ඔබේ දරුවාගේ අනාගතය ගැන පමණක් හිතලා ඡන්දය දෙන්න. පක්ෂවල ප්‍රබලයෝ 95%ක් හොරු. මේ නායකයො පක්ෂ පිහිටුවා
ගන්නෙ ඔවුන්ගේ මූලික අවශ්‍යතා වගේම ඔවුන්ගේ සුඛවිහරණයට අවශ්‍ය ආරක්ෂිත පාර හදා ගන්නයි. පෞද්ගලිකව ඔවුන්ගේ අරමුණු ඉටුකරගන්නවා කියන ආත්මාර්ථකාමී අපේක්ෂාවෙන්. ඔබ ආශීර්වාද කරන්නෙ මේ තක්කඩීන්ට. ඔබේ වටිනා කතිරය ගහන්නෙ මේ තක්කඩි ලොකු පුටුවට යවන්න. මම ජනතාව වෙනුවෙන් හිතලයි මේ කැපවීම කරේ. අද සජිත් කියනවා එයාගෙ සැලුන් දොර ඇරලා කියලා. යන එන කුණු අද බේරේ වැවට වගේ සජබෙට රිංගනවා. සජිත් හිතන්නෙ මහින්ද රාජපක්ෂගෙ ඇරපු සැලුන් දොර වගේ එයාටත් අරින්න වහන්න සැලුන් දොරක් තියෙනවා කියලා.
කැලණිය – කේ.එස්. හැන්නදි