3
ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ රට මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදාගන්නා බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ අනුරාධපුර රැලියට පසුගියදා (14) සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා:
“ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයග්‍රහණයක් මේ අනුරාධපුර ජනතාව රැගෙන දෙන බව අපට විශ්වාසයි. සිය ගණනක් හාමුදුරුවරුන් අද මේ වේදිකාවට වැඩමකරලා, ආගම පාවිච්චි කරමින් අපට එරෙහිව නඟන බොරු සහ අවලාදවලට නිසි පිළිතුරක් ලබා දී තිබෙනවා. අපි ඉතාමත් විධිමත්ව මෙම ඡන්ද ව්‍යාපාරය දියත් කළා. මේ වන විට අපේ ඡන්ද ව්‍යාපාරය මේ රටේ පොදු ජනතාව විසින් තමන්ගේ අතට අරගෙන තිබෙනවා. දැන් අනෙක් කණ්ඩායම් මේ තත්ත්වය තුළ හොඳටම කලබල වෙලා. අපිට එරෙහිව විවිධ මඩ, අවලාද අසත්‍ය තොරතුරු තොග ගණන් පතුරුවමින් ඉන්නවා. අපි ඒ අයට කියන්නේ දැන් පරක්කු වැඩියි කියලා. මේ ජයග්‍රහණය නතර කරන්න දැන් බැහැ. අපේ වගකීම තමයි මේ ජයග්‍රහණය විජයග්රහණයක් දක්වා ඔසවා තබන එක. මම ඊයේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, ඔළුවිල්, සයින්දමරදු, සමන්තුරේ, නින්දවූර් යන ප්‍රදේශ ගණනාවක රැස්වීම් කළා. එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව දහස් ගණනක් මේ රට වෙනස් කිරීම සඳහා අපි වටා පෙළගැසී සිටින හැටි අපි දැක්කා. ඒ නිසා ලංකාවේ පළමුවැනි වතාවට ඉතා සුවිශේෂී ආණ්ඩුවක් හැදෙන්න යන්නේ. ඒක මොන වගේ ආණ්ඩුවක් ද? මෙතෙක් කල් හැදුණේ අනෙකාට එරෙහි ආණ්ඩු. උතුරු නැඟෙනහිර ජාතිකත්වයන්ට එරෙහි ආණ්ඩු. දේශපාලන වේදිකාවල කතා වුණේ ‘ජාතිය අනතුරේ. අන් ජාතිකත්වයන්වල ජනයා මහා ජාතිය ආක්‍රමණය කරමින් ඉන්නවා. ඒ නිසා ජාතිය බේරා ගන්න ඒ අයට ඡන්දය දෙන්න’ කිවුවා. ආගම බේරා ගන්න ඒ අයට ඡන්දය දෙන්න කිවුවා. දැනුත් ඒ වර්ගයේ ඡන්දය ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා.
“රටේ නිදහස පතා අරගල කළ දෙමළ තරුණයෝ 1949දී ගෙනා පුරවැසි පනත නිසා දෙමළ රාජ්‍ය පක්ෂය කියලා වෙනම පක්ෂයක් හදාගන්නවා. උතුරට වෙනම පාලනයක් ඉල්ලනවා. 1956 වෙනකොට භාෂා ප්‍රශ්නයක් නිර්මාණය කරනවා. 1958 වෙනකොට ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගන්නවා. නැවත සිංහල, දෙමළ, මුස්ලිම් කෝලාහලයක් පටන් ගන්නවා. 1965 ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියලා පෙළපාළි යන්න පටන් ගන්නවා. නැවත 1972දී දෙමළ එක්සත් පෙරමුණ හදනවා. 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හදනවා. දෙමළ පක්ෂ ඔක්කෝම එකට එකතු වෙලා වඩුක්කෝඩෙයි සම්මේලනය තියලා වෙනම රාජ්‍යයක් සඳහා ජනවරමක් ඉල්ලනවා. 1978 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනවා. මිනිස්සු මර්දනය කිරීම අරඹනවා. 1984 වනවිට ප්රභාකරන් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කළා. ඊට පස්සේ සිවිල් යුද්ධයක් පටන් ගන්නවා. ම්ලේච්ඡ මිනිස් ඝාතන පටන් ගන්නවා. රට මහ ව්‍යසනයකට ගොදුරු කළා.
“සජිත් ප්‍රේමදාසලා පරණ ආගම්වාදී, ජාතිවාදී කිලිටි ඇඳුම් හෝදන්න පටන් අරගෙන තිබෙනවා. මේ දේශපාලනය අවසන් කරන්න ඕනැ. අපි හැම ආගමකටම ගරු කරන ව්‍යාපාරයක්. මේ රටේ සියවස් ගණනක් ජනතාවගේ ප්‍රාර්ථනය වූ ජාතික සමගිය තහවුරු කරන ආණ්ඩුව අපි මෙම 21න් පසු පිහිටුවනවා. අනුරාධපුරය අපේ ශිෂ්ටාචාරයේ නගරය. අද කුඩුවලින් වැහිලා. කුඩු, මත්ද්‍රව්‍ය වසංගතයක් බවට පත්වෙලා. මේ රටම ඒ ව්‍යසනයෙන් මුදාගත යුතුයි. මේ සියලු ව්‍යසනයන් පිටුපස ඉන්නේ පාලකයන්. දේශපාලකයන්ගේ ආශීර්වාදය නැතිව මේ සාපරාධී ජාවාරම්වලට පවතින්න බැහැ. අපි සහතික වෙනවා මේ සියලු ව්‍යසනයන්ගෙන් ජාතික ජන බලවේගය පාලනයක් තුළ මේ රට මුළුමනින්ම මුදාගන්නවා කියලා දැන් මුළු රටම 21 වැනිදා වෙනකල් බලා ඉන්නේ අපේ ජයග්‍රහණය විජයග්රහණයක් දක්වා ඔසවා තබන්න. අපි සියලු දෙනා එකතු වෙලා ඉන්පසු මේ රට ගොඩනගමු.”
ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දර ආරච්චි මහතා:
“මේ දහස් සංඛ්‍යාත ජනතාව එකහෙළාම අපේක්ෂා කරන්නේ අපේ රටට යහපත් හෙට දවසක්. ඔබ මෙතැනට පැමිණ සිටින්නේ මේ රට ගොඩනඟන එකම නායකයා වූ අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන විශ්වාසය තබා ඔහුට ඔබේ ශක්තිය එකතු කිරීමටයි. රට නව යුගයකට පරිවර්තනය කරන ඒ විප්ලවය හෙට දවසේ ඔබේ කතිරයෙන් කරන බව අපිට හොඳටම විශ්වාසයි. දැන්නම් අනුර සහෝදරයා දිනන එක කාටවත් වළක්වන්න බැහැ.
“මේ පාර සැබෑ වෙනසක් වෙනුවෙන් අපි ක්‍රියාත්මක නොවුණොත් අපිට යන එනමං නැතිවෙනවා, ඒක තදින්ම අවධාරණය කළ යුතුයි. සමහරු කියනවා මාලිමාවේ අයට බලය අරන් මේ රට කරන්න පුළුවන් ද කියලා. මම අහන්නේ මෙච්චරයි. මේ තාක් මේ රට කරපු එවුන් හරියට කළා ද? හරි දෙයක් කළා ද? කියලා. ඔබ දැන් මෙතැනට ඇවිල්ලා ඔබේ ශක්තිය පෙන්වනවා. ඒ වගේම මෙම 21 වැනිදාට උදාවෙන තීරණාත්මක මොහොතේ අපි ගැන දෙගිඩියාවෙන් ඉන්න, සැක සහිතව හිතන, බොරු දේශපාලන කතා අහලා ෆේස් බුක් එකේ යන සමහර ව්‍යාජ කතන්දර අහලා චකිතයෙන් ඉන්න අයටත් විශ්වාසය ඇති කරලා ඒ ඡන්ද ප්‍රමාණයත් මාලිමාව වෙතට හැරවිය යුතුයි.
“සන්තෝෂයක් නැති ජීවිතය මොකක්ද? ඔබ ඉන්නේ සතුටින් ද? සතුටක් නැති මිනිසුන්ට තමයි දුක දැනෙන්නේ. ඒ දුක හඳුනන මිනිහෙක් තමයි අද ඔබට, අපේ රටට නායකත්වය දෙන්න ඇවිල්ලා ඉන්නේ. බලන්න මේ වේදිකාව දිහා. මේ රට වෙනුවෙන් වැඩකරන්න පුළුවන්, ජනතාවගේ සංහිඳියාව ඇති කරන්න පුළුවන්, ජනතාවගේ මානසිකත්වය ගොඩනඟන්න පුළුවන්, සහෝදරත්වයෙන් බැඳුණු මේ රටට ඇත්තටම ආදරය කරන පිරිසක් ඔහු වටා ඉන්නවා. නියත වශයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා මේ 21 වැනිදාට ජයග්‍රහණය කර ජනාධිපති වෙනවා. එය සත්‍යයි. ස්ථිරයි.”
උපාලි කරුණාරත්න