Home Politics News Room : බාධා බිඳලමින් ගමන් කළ හැකි ශක්තිමත් මාවතක් අප සතුයි

News Room : බාධා බිඳලමින් ගමන් කළ හැකි ශක්තිමත් මාවතක් අප සතුයි

1
0

රට ගොඩනැඟීමෙහිලා බාධා බිඳලමින් ගමන් කළ හැකි ශක්තිමත් මාවතක් තමා සතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ මහියංගණය නගරයේ දී පෙරේදා (15) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන ජනහමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා:

“මේ ජනතාව විශ්වාස කරන නායකයා සමඟ විශාල පිරිසක් අද මේ රැස්වීමට සහභාගි වී සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වගේම මාතෘ භූමියේ විජයග්‍රහණය තහවුරු කරන්න මේ ජනතාව දෙන සහයෝගය අගය කරනවා. අපි දේශපාලනය කරන්නේ මේ රට ගොඩනඟන්න. අපට දැක්මක් වගේම සැලැස්මක් තිබෙනවා. අපි මැතිවරණවලදී බලය ලබා ගැනීමට හෝ මැතිවරණවලට ඉදිරිපත් වෙනවාට ඉදිරිපත් වන්නේ නෑ. අපි මැතිවරණවලට ඉදිරිපත් වන්නේ දිනන්නයි. අපි දිනන්නේ රට හදන්නයි. අපිට සැලැස්මක් සහ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වගේම රට හදන්න අපිට වුවමනාවකුත් තිබෙනවා. අපිත් ගම්වල හැදුණු වැඩුණු අය.

“එදා මහින්ද රාජපක්ෂ මහතා මේ ගම්මානවලට එනවිට ඔබ ඉල්ලුවේ නිදහසයි. ඔබ ඉල්ලුවේ ඔබට සාධාරණ ආදායමක්. ඒක මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු තුනෙන්, පහෙන් ලබා දුන්නා. 2015 වනවිට මේ ආසනය වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ දැවැන්ත සංවර්ධන වැඩ කොටසක් කරන්න මහින්ද රාජපක්ෂ මහතාට පුළුවන්කම ලැබුණා. අද මේ අවට දකින සෑම සංවර්ධනයක්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ සිදු කළ ඒවා. ඒක මේ ජනතාව හොඳින් දන්නවා. ඒ වගේම රටේ ආර්ථිකය නංවන්න, ජනතාව වෙනුවෙන් දියුණු රටක් හදන්න අවශ්‍යතාව අප සතුව තිබ්බා. ඒ වගේම වැඩපිළිවෙළකුත් අපට තිබුණා. අවාසනාවට 2015 බලයට පත් වූ ආණ්ඩුවට ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නෑ. ඒ අය කටයුතු කළේ පළිගැනීමේ චේතනාවෙන්. අපිට හොරු කිව්වා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. අපිව හිරේ දැම්මා. පරීක්ෂණ කරලා කරලා අවසානයේ නායකයෝම කිව්වා රාජපක්ෂලාට විරුද්ධව කිසිම චෝදනාවක් නෑ කියලා. ඔවුන් මාධ්‍යයටත් පාර්ලිමේන්තුවටත් පැමිණ ඒ බව දැනුම් දුන්නා. නඩුවලින් අපි නිදොස් කොට නිදහස් වුණා. නමුත් කනගාටුවට කරුණ නම් ඒ අය පරණ සටන් පාඨම දේශපාලන වේදිකාවේ විකුණමින් ඡන්ද ලබා ගැනීමට උත්සාහ කිරීමයි. ජනතාව අද ඉතාම බුද්ධිමත්.

“නැවත වතාවක් මේ රට බෙදන්නත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙන්නත් අපි ඉඩ තියන්නේ නෑ. නැවත වරක් මේ ජනතාව මායිම් ගම්මානයකට සීමා කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔබ ගොඩනැඟූ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එළඹෙන 21වැනිදා දිනවන්න අවශ්‍ය පියවර ගතයුතු වෙනවා. ඒ වගේම මේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම ද මම භාර ගන්නවා.”

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි:

“ජනතා විමුක්ති පෙරමුණ මේ රටට සිදුකළ හානිය අපි දන්නවා. ඔවුන් මේ රටේ තරුණ තරුණියන් හැටදහසක් මැරුවා. කැනඩාවට ගිහින් ඒකට සොරි කියනවා. ඒ වගේම දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කළා. ඒකටත් සොරි කියනවා. ඌව වෙල්ලස්සේ ජනතාව රට පාවා දෙන්න සූදානම් නෑ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් මේ 21 දා පොහොට්ටුවට ඡන්දය ලබා දෙනවා.”

රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ මහතා:

“2005දී මහින්ද රාජපක්ෂ මහතා මේ ස්ථානයට පැමිණ ඇහුවේ මම කුමක්ද කරන්න ඕනේ කියලයි. ඒ වෙලාවේ ඔවුන් පැවසුවේ යුද්ධය අවසන් කර දෙන්න කියලයි. යුද්ධය අවසන් කළා පමණක් නොව රටේ සෑම සංවර්ධන කටයුත්තක්ම සිදු වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයෙන් පසුව මේ රටේ සිදු වූ සංවර්ධන වැඩ පිළිබඳව මේ ජනතාව හොඳින්ම දන්නවා.”

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:

“අද මේ අවස්ථාවට මහියංගණය ආසනය නියෝජනය කරමින් විශාල පිරිසක් සම්බන්ධ වී සිටිනවා. අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට මීට පෙර හිටියේ වෙනත් අපේක්ෂකයෙක්. නමුත් පසුව නාමල් රාජපක්ෂ මහතා ඒ අභියෝගය භාර ගත්තා. වෙනත් කෙනෙක් නම් ඒ අභියෝගය බාරගන්නේ නෑ. අවශ්‍ය වෙලාවේ අභියෝගය බාරගන්නේ නැත්නම් වැඩක් නෑ කියලා නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.”

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා:

“තවමත් නිහඬ ඡන්ද විශාල ප්‍රමාණයක් මේ රටේ තිබෙනවා. ඒ ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දෙනවා. හදවතේ තියෙන ඡන්දය බොහෝ අයගේ පොහොට්ටුවටයි. 22 බැරි වෙලාවත් අනුර කුමාරට ඡන්දයක් දුන්නොත් මේ රටට විශාල විනාශයක් සිදු වනවා. ඔවුන් දිනුවොත් පොලිසියට සතියක් නිවාඩු දෙනවලු. එහෙම නිවාඩු දෙන්නේ සොරකම් කරන්නයි. ඒ නිසා මේ ඡන්දයේ දී අපි බුද්ධිමත්ව කටයුතු කළයුතු වෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා ඇතුළු විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටියහ.

මහින්ද අලුත්ගෙදර මහියංගණයේ සිට…

ඡායාරූප – සුලෝචන ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here