31
ජාතික ජන බලවේගය සූදානම් වන්නේ ප්රජාතන්ත්රවාදය පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ගෙන යෑමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දම වීරක්කොඩි මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ අක්මීමණ, ගොනාමුල්ල, නුගේකන්ද ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
“ජාතික ජන බලවේගය හදන්නේ මේ රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කරන්න. එහෙම නම් මේ රටේ ඒකාධිපති පාලනයක් ගෙන යන්න ඔබ ඔබේ වටිනා ඡන්දය භාවිත කරනවා ද? පසුගිය කාලයේ රටේ තිබූ අරගලයට අහිංසක, බුද්ධිමත්, වැදගත් මේ රටට වෙනසක් අවශ්‍ය යැයි විශ්වාස කළ කණ්ඩායමක් එළියට බැස්සා. ඒ ඇතුළට ජවිපෙ අය රිංගා මේ රටේ බලය ගන්න පුළුවන් කියලා ජනාධිපති පැන ගියාම පැය කිහිපයක් ඇතුළත ගෙවල් කීයක් ගිනි තිබ්බ ද? මගේ ගෙදරත් ගිනි තිබ්බා. මගේ ගෙදර ගිනිතිබ්බේ වක්වැල්ලේ ජවිපෙ අපේක්ෂකයා ඇවිල්ලා. විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙත් නෑ. එතුමාගේ ගේත් ගිනි තිබ්බා. ඒවා කළේ කවුද? ඔබ කල්පනා කරන්න. බලය ගන්න හිතාගෙන එහෙම කරනවා නම් බලය ගත්තොත් කොහොම වෙයි ද? මේවා කළේ අහිංසක අරගලකරුවන් නොවේ. පරිස්සම් වෙන්න. බලය දෙන්න කාට ද කතිරය ගහන්න ඕනෙ කියලා හිතන්න. සජිත් ප්‍රේමදාස මහතා අරමුණක් තිබෙන, වැඩපිළිවෙළක් තිබෙන, පළපුරුද්ද තිබෙන, උගත්කමක් තිබෙන, දුප්පත් මිනිහට ආදරේ කරන, පොඩි මිනිහා ගොඩගන්න කටයුතු කරන නායකයෙක්. උතුරේ, දකුණේ මිනිසුන් වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දෙනාම එකතු කරගෙන ජයග්‍රහණයට යමු. දකුණේ බෞද්ධ අපි වගේම උතුරේ දෙමළ ජනතාවත් තීන්දු කළේ සජිත් ප්‍රේමදාසට ජනාධිපති වෙන්න ඡන්දය දෙනවා කියලා. ඒ නිසා සෑම ජාතියකම, ආගමකම ආශීර්වාදයෙන් පත්වන ජනාධිපතිවරයා වන්නේ සජිත් ප්‍රේමදාස.”
අක්මීමන විශේෂ – සුනිල් ගමගේ