25
ගොවීන්ගේ වගා ණය කපා හරින බවත්, ගොවීන්ට, ධීවරයන්ට, ත්‍රීරෝද රථ හිමියන්ට, පාසල් බස් රථ හිමියන්ට සහ ශක්ති සහල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් දීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පෙරේදා (16) අනුරාධපුරයේදී පැවති අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මෙවර ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය අති විශිෂ්ට ජයග්‍රහණයක් සමගි ජන සන්ධානය ගන්නවා. එය ස්ථිරයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 7ම සමගි ජන සන්ධානය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. සමගි ජන සන්ධානයෙන් 21 වැනිදා පොදු ජන යුගය අනිවාර්යයෙන්ම බිහි වෙනවා. 21 වැනිදා ජයග්‍රහණය කර 22 වැනිදා ජනාධිපතිවරයා වශයෙන් වැඩ භාරගත්තාට පසු හොර බාර් පර්මිට් සියල්ල නීත්‍යානුකූලව අහෝසි කරනවා.
හොර ඩීල්කාරයන්ට ඡන්දය දීලා ඔබේ වටිනා ඡන්දය අපතේ නොයවා ජනතාව දිනවන සමගි ජන සන්ධාන රජයක්, පොඩි මිනිස්සු රජ කරවන රජයක් පිහිටුවන්න ඔබේ ශක්තිය දෙන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම ගම්, නගරවල වගකීම රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස භාර ගන්න සූදානම්. ජාති ආගම් භේදයකින් තොරව ඔබ සියලුම දෙනා ආරක්ෂා කරන්න කැපවෙනවා.
අනුරාධපුර මැතිවරණ කොට්ඨාස 7හි පළමු පියවර ලෙස නිෂ්පාදන කර්මාන්ත ශාලා 7ක් ඇති කරනවා. දෙවැනි පියවර ලෙස ඒ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම විසඳුම් ලැබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනඟා තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා පුහුණුව දෙනවා. ඒ හරහා දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩනඟනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම රෝහල් සුහුරු රෝහල් බවට පත් කරනවා.
ගොවි ජනතාව වෙනුවෙන් කිලෝ 50ක පොහොර මිටිය රුපියල් 5000කට දෙනවා. ගොවීන්ගේ වගා ණය කපා හරිනවා. ගොවීන්ට, ධීවරයන්ට, ත්‍රීරෝද රථ හිමියන්ට, පාසල් බස් රථ හිමියන්ට සහ ශක්ති සහල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් දෙනවා. ඒ ඉන්ධන සහනාධාරය කිව් ආර් ක්‍රමයට දෙනවා.
අලි – මිනිස් ගැටුමට නිසි තිරසර විසඳුමක් දෙනවා. ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ප්‍රජා කේන්ද්‍රීය වනජීවී සංරක්ෂණයකට යොමු වෙලා එය සංචාරක කර්මාන්තයට ශක්තියක් වන ආකාරයට දියුණු කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නොවූ සුළු මධ්‍ය වාරි කර්මාන්තය අපි ශක්තිමත් කරනවා. අනිවාර්යයෙන්ම අපි වාරි පුනරුත්ථාපන වැඩසටහන් ආරම්භ කරනවා. පොස්පේට් නිධිය අපේ රටේ අයිතිය තබාගෙන එය දියුණු කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්රතිලාභ ලැබෙන වැඩසටහනක් ලෙස දියුණු කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින බඩඉරිඟු ගොවියා ශක්තිමත් කරනවා.
පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. සෑම දුප්පත් පවුලකම ගෘහණිය කේන්ද්‍රීයව මාසයකට රුපියල් 20,000ක මූල්‍ය ශක්තියක් දෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ මුදල්වලින් ජනතාව වැටී තිබෙන අගාධයෙන් ගොඩ එන්න අපි රජයක් ලෙස මැදිහත් වෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පෞද්ගලික අංශයේ සේවකයන් දෙන දායකත්වය අපි අමතක කරන්නේ නෑ. පෞද්ගලික අංශයේ කම්කරු ජනතාවට සමගි ජන සන්ධාන රජයකින් අවම වැටුප රුපියල් 25,000 දක්වා වැඩි කරන්න අවශ්‍ය රෙගුලාසි ගෙන එනවා. ජනතාවගේ බදු මුදල්වලින් වැටුප් ගන්න ජනාධිපති කෙනෙක් නෙවෙයි මම. වතුර උගුරකටවත් බදු ගෙවන ජනතාවගේ මුදල් මම ගන්නේ නෑ. ජනාධිපතිවරුන්ට මන්දිර අවශ්‍ය නෑ. අනුරාධපුර ජනාධිපති මන්දිරය තරුණ තරුණියන්ට දැනුම දෙන කෙන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. මන්දිර ඉදිකළ යුත්තේ අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන්.”
දයාසිරි ජයසේකර මහතා
“රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දැන් අවසන්. ඔහු මන්ත්‍රීවරුන් 104ක් විවිධ වරදාන, වරප්‍රසාද ලබා දී ගත්තා. නමුත් ඒ මන්ත්‍රීවරුන් සියල්ල අද තනි වෙලා. ජනතාව අද සමගි ජන සන්ධානය සහ සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වෙලා. ”
පාඨලී චම්පික මහතා
“මෙවර ජනාධිපතිවරයා තෝරාගැනීමට අවශ්‍ය වෙලා තිබෙන්නේ පරම්පරාවකට අනාගතය තීරණය කරගැනීමටයි. මතක තබා ගන්න අපි 2022 විශාල දුක් කන්දක් වින්දා. රට බංකොලොත් වූ නිසා විදුලිය, තෙල්, ගෑස්, බෙහෙත්, ආහාර, පොහොර මේ කිසි දෙයක් තිබුණේ නෑ. ණය ගෙවා ගන්න බැරි නිසා රට බංකොලොත් වුණා. දැන් අපි ණය ගෙවනවා ද? නෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොකක්ද කළ වික්‍රමය. මුකුත් කළේ නෑ.”
නලින් බණ්ඩාර ජයමහ මහතා
“අපේ රටේ බෞද්ධයන්ට අනුරාධපුරය කිව්වාම ඊට වැඩිය තැනක් නෑ. අපේ රටේ උපාසක උපාසිකාවන්ට තමන්ගේ අවසාන මොහොතේ හරි අනුරාධපුරයේ වැඳ පුදා ගන්න තියෙනවා නම් ඒක තමයි තමන්ගේ ජීවිත කාලයේ කර ගන්න ලොකුම පින්කම කියන එක විශ්වාස කර ගන්නවා. හැබැයි එහෙම රටක නිරාගමික දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ බලය ගන්න උත්සාහ කරනවා. ”
රෝහණ බණ්ඩාර මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
රක්ෂණ ශ්‍රියන්ත