28
වසර හැත්තෑ හයක් අපේ රට ගිය දිසාව නිවැරදි කරන්නත් ඒ වෙනුවෙන් සැලැස්මක් ඇතිව කැප විය හැකි නායකත්වයක් අවශ්‍ය බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවැසුවේ මාතලේ, වේරගම පැවති කණ්ඩායම් හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කීවාය.
“මේ පරිවර්තනයට පැහැදිලි ජනතා වරමක් අවශ්‍යයි. මාලිමාව කියන්නේ පක්ෂයක් නොවෙයි. අපි කාටවත් අයිති දෙයක් නොවෙයි. පැළැන්තියක්, පවුලක් නියෝජනය කරන්නේ නෑ. ජාතික ජන බලවේගය මේ රටේ නිර්මාණය වූ දැවැන්ත ජනතා ව්‍යාපාරයක්. ඡන්දය දිනා රට හැදීමේ ස්ථිර අරමුණක් එක්ක ඔබ සියලු දෙනාම ඉන්නවා. ඒ නිසාම මාලිමාව සමඟ දහස් ගණන් ජනතාව එකතු වෙලා ඉන්නවා. මේ රටේ දේශපාලන සංස්කෘතිය සුද්ද කර දේශපාලනයට ගරුත්වයක් දී ජනතාවත් එක්ක රට නිවැරදි මාර්ගයට ගෙන යන්න උත්සාහ කරනවා.
මෙතෙක් සිදු වුණේ මහජන නියෝජිතයන් හැටියට පත්වූ අය දේශපාලනය පෞද්ගලික අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමයි. එයින් දේශපාලන සංස්කෘතිය දූෂිත වෙන්න පටන් ගත්තා. නියම විදිහට කිසිම පක්ෂයක් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ නෑ. තමන්ගේ කණ්ඩායම ගැනවත් කිසිම විශ්වාසයක් නැතිව දවසින් දවස වේදිකා මාරු කරනවා. හොරකම් පිළිබඳව අනුර කුමාර සහෝදරයා කතා කරනකොට කෑ ගහලා බාධා කළා. මේ අයට හෘද සාක්ෂියක් තියෙනවා ද කියන බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා.”
මේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන