20
ඡන්ද ව්‍යාපාරය අවසන් වේගෙන එන විට උඩින්ම සිටිනුයේ ජාතික ජන බලවේගය බවත්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, පවතින මජර දේශපාලනය අතුගා දමන බවත් එහි නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) නුගේගොඩදී පැවති ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා –
“අපේ ජයග්‍රහණයට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල සහයෝගයක් ලබා දුන්නා. අප මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා සහතිකයි. මෙම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සිටම ක්‍රමානුකූලව අප වැඩ කළා. මේ රට ගොඩ නැඟීම සඳහා වන අවශ්‍ය වැඩපිළිවෙළ සඳහා විවිධ ක්ෂේත්රවල කණ්ඩායම් එකතු කර ගත්තා. ගම්වලට ගියා. සමුළු පැවැත්වූවා. ජනතාව හමුවූවා. මහා ජයග්‍රාහී බලවේගයක් සෑදුවා. ජයග්‍රහණ අපට ගෙන දෙන්නේ මේ රටේ ජනතාවයි.
රාජ්‍ය බලය යොදාගෙන ඡන්ද දිනන්න පුළුවන් කියා සමහරු සිතුවා. අපගේ ජයග්‍රහණය සඳහා ජාතික ජන බලවේගයේ සහෝදර, සහෝදරියන් කිහිප වතාවක් ගෙන් ගෙට ගියා. ජනතාව දකින බලාපොරොත්තුව ඉටු කිරීමට ජාතික ජන බලවේගය ක්‍රියා කරනවා. රටේ පුරවැසියන් විවිධ අවස්ථාවල අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළා. එහෙත් අපට ඒවා සාර්ථක කර ගන්න බැරි වුණා. සියවස් ගණනක් අපේ පරම්පරා ගණනාවක් දැකපු සිහිනය අප ජයග්‍රහණය කරනවා. මේක අප දිනන ඡන්දයක්.
මේ රටේ සෑම ආණ්ඩුවක්ම පසුගිය කාලයේ ජාතිවාදය, ආගම්වාදය, ගෝත්රිකවාදය යොදා ගත්තා. අපේ රටේ දේශපාලන පොරපිටියෙන් එම තත්ත්වය ඉවත් කරන්න ඕනෙ. අපේ බෞද්ධයන් තමන්ගේ ආගම පිළිබඳ තිබෙන භක්තිය ආණ්ඩුවක් මාරුවුණා කියල වෙනස් කරනවද? මේ මැතිවරණයෙන් පසු ජාතිවාදයට උඩගෙඩි දෙන කිසිවකුට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඉඩ නැහැ. අපේ රටේ පාසැල් පද්ධතිය තුළ විශාල ව්‍යසනයක් ඇති වී තිබෙනවා. ඒ නිසා පාසැල් අධ්‍යාපනයේ වෙනසක් ඇති කළ යුතුයි. සජබයට බැරෑරුම් ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. අප මේ රාජ්‍ය සේවය දේශපාලන අධිකාරියෙන් මුදවා ගෙන කාර්යක්ෂම කරනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට අපට වැඩපිළිවෙළක් තියෙනවා.
අපේ ජයග්‍රහණයට උතුරේ, නැඟෙනහිර මුස්ලිම් ජනතාව දස දහස් ගණන් බලාපොරොත්තු තබාගෙන අපත් සමඟ එක්වී සිටිනවා. උතුර, දකුණ, නැඟෙනහිර, බටහිර ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා ලද ආණ්ඩුවක් නිර්මාණය වෙමින් තිබෙනවා. සියවස් ගණනක් අප ගහගෙන තිබෙනවා. ඒත් මෙවර රටේ සියලු පළාත්වල ජනතාව එකමුතුව ජාතික ජන බලවේගය සමඟ එක්ව ආණ්ඩුවක් හදන්න අද එක්වෙලා. මෙවර බලය මාරු වීම තුළින් මේ රටේ ආර්ථිකයේ විශාල වෙනසක් ඇති වෙනවා. එහි ආරම්භක පියවර මෙම 21 දින පොදු ජනයාගේ ආණ්ඩුවක් නිර්මාණය වීම. මේ රටේ පවතින අර්බුදය පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවා. එය විසඳා ගැනීම සඳහායි අප 21 දින බලය ගන්නෙ. ඒ තුළින් මේ රටේ ගැඹුරු පරිවර්තනයක් ඇති කරනවා. අපේ ආණ්ඩුවක් යටතේ සියලු දෙනා නීතියට යටත් පුරවැසියන් බවට පත් කරනවා. නීතිය කෙරෙහි විශ්වාසය අප ඇති කරනවා. පාස්කුදා ප්‍රහාරයේ විශාල පරීක්ෂණ කාර්යභාරයක් කළ අය අපේ වේදිකාවේ ඉන්නවා. යමෙක් යම් අපරාධයක් කරන විට නීතියක් තිබෙනවා කියා මතක් වෙන්න ඕනෙ. පැරණි අපරාධවලට දඬුවම් දිය යුතුයි. ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ඒවා කිසිවක් කාලයේ වැලිතලාවට වැහෙන්න ඉඩ දෙන්නෙ නැහැ. යළි නීතිය පිළිබඳ විශ්වාසය සමාජයේ ඇති කරනවා. මහා පරිමාණ වංචා, දූෂණ සෙවිය යුතුයි.
අප හදන්නෙ පුරවැසියන් බලා ගන්නා ආණ්ඩුවක්. අප ඉතා කෙටි කාලයක් තුළ අඩු විදුලි බිලක් ඇති කරනවා. තෙල් මිල අඩු කරනවා. ජනතාවට ජීවිතය පවත්වාගෙන යා හැකි වාතාවරණයක් ඇති කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සියලු පුරවැසියන් බලා ගන්නවා. මේ රටේ මේ ආර්ථික ප්‍රශ්නය ඇති වී තිබෙන්නෙ මෙහි සිටි පාලකයින්ගේ වරදින්. අප මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ක්‍රමය දන්නවා. අප ඩොලර් එන විදිහත් ඩොලර් ආරක්ෂා කර ගන්නා අන්දමත් දන්නවා. අපට මහ මැණික් සම්පතක් තිබෙනවා. මහ පොළොවක් තිබෙනවා. එම මහ පොළොව සමඟ පොර බදන්න පුළුවන් ගොවි ජනතාවක් අපට ඉන්නවා.
ජාතික ජන බලවේගය සූදානම් මේ රට හදන්න. අප එකතුවෙලා මේ රට හදමු. මෙම 21 දින මේ ගමන සඳහා සූදානම් වෙමු. මේක දිගු ගමනක ආරම්භයයි. මේක සියලු ජන කණ්ඩායම් අපේක්ෂා කරනවා. මේක ලංකාවේ පළමු වතාවට පොදු ජනයාගේ ආණ්ඩුවක් නිර්මාණය වීමක්. කුමන හෝ ගැටුමක් ඇති කර ගන්න එපා. ඡන්දෙන් පස්සෙ අපේ රටේ තිබූ පරාජිතයාට හිංසා කිරීමේ දේශපාලනය අප නවත්වන්න ඕනෙ. හැම කෙනාටම තමන් කැමැති දේශපාලනයක් කරන්න හැකිවෙන්න ඕනෙ. අපට ඡන්දය නොදුන් කෙනාත් රට ගොඩනැඟීමට සම්බන්ධ කර ගනිමු.”
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා-
“අපගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන ලෝකය වටා සිටින විශාල පිරිසක් මේ මොහොතේ අන්තර්ජාලය හරහා අප සමඟ සම්බන්ධ වී සිටිනවා. මෙම රැස්වීම් දකින අපට සතුටක් දැනෙනවා. අපගේ ජයග්‍රහණය හෙට ඉර පායනවා වගේ විශ්වාසයි. අපගේ ජයග්‍රහණය දැවැන්ත මහජන ව්‍යාපාරයක ජයග්‍රහණයක්. රටේ සැමට සතුටින් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමේ සිහිනයක් අපට තිබුණා. අප එය කොතරම් දුෂ්කරතා ආවත් අත්හැරියේ නැහැ. අද අපට ඉතිහාසය විසින් අවස්ථාව ලබා දී තිබෙනවා එම හීනය සැබෑ කර ගන්න. අප ඉදිරියේ සිටින්නෙ අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන පිරිස. අප පැරණි සමාජය අවසන් කර අලුත් සමාජයක් නිර්මාණය කරන පිරිසක්. අනුර සහෝදරයා ජයග්‍රහණය කළාම කොන්ත්‍රාත් ගන්න, දරුවා පාසැලට දාගන්න, රස්සාවක් ගන්න බලාපොරොත්තු වන කිසිවෙක් මෙහි නැහැ. එකතුවෙලා රට හදන්නයි සියලු දෙනා පැමිණ සිටින්නෙ. නොසෙල්වී සිටින ජන කොටසකට ප්‍රාතිහාර්යපාන්න පුළුවන්. ජාතික ජන බලවේගයේ සිටින්නෙ එවන් ජන කොටසක්. අප හදන්නෙ මහජන බලයක්. අපේ රට අලුත් තැනකට ගෙන යන්න මේ රටේ ජනතාව සූදානම්. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින බොහෝ නායකයො විකාර ප්‍රකාශ කරන්නෙ. 21 දින මාලිමාවේ ඡන්දවලින් ඡන්ද පෙට්ටි පුරවමු.”
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය-
“අද නුගේගොඩ හරිම ලස්සනයි. මේ සියලු දෙනාගේම මුහුණුවලින් පෙනෙන්නෙ රට හදන්න පුළුවන් කියන විශ්වාසය. අප ජයග්‍රහණය කරනවා කියන එක පිළිබඳ ප්‍රශ්න නැහැ. අප බලය ලබා ගන්නෙ පුද්ගලිකව කිසිවක් ලබා ගන්න නොවේ. අප රට හදන්න ඕනෙ කියන අධිෂ්ඨානය සමඟ අද එකතු වෙලා. අපේ දේශපාලන රැලිවල සහෝදරියන් අති විශාල ප්‍රමාණයක් සිටිනවා. අප හදන අලුත් සමාජයේ දී මේ රටේ කාන්තාවන් විශාල නායකත්වයක් ලබා දෙනවා. අප රටට සිහිනයක් ලබා දී තිබෙනවා. පසුගිය කාලයේ සිහින යථාර්ථයන් බවට පත්කර ගන්න බැරි වූ තරුණ පිරිස් මේ රට හැර දමා ගියා. මේ රට අපට හදන්න පුළුවන්. 21 දින අප ජයග්‍රහණය කර 22 සිට සියලු දෙනාම රට හැදීමට එක්වෙමු.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා-
“අප අවුරුදු ගණනාවක් ජයග්‍රහණයේ පිපාසය සොයමින් සිටි මිනිස්සු. අපේ මැච් එක අප ජයග්රහණයෙන් මෙම 21 දින අවසන් කරනවා. මීට වසර දෙකකට පෙර අපේ ස්මාර්ට් තරුණ පරම්පරාව රටක් නැඟිටින අන්දම රටට පෙන්වා දුන්නා. අප එදාත් ප්‍රකාශ කළේ අරගලය අවසන් නැහැ. ජයග්‍රහණය කරන තුරු එය ක්‍රියාත්මක බව පැවසුවා. අද ජාතික ජන බලවේගය මේ රටේ දැවැන්තම මහජන ව්‍යාපාර බවට පත්වෙලා තිබෙනවා. මේ රටේ වැඩිහිටියො, ස්මාර්ට් කෙල්ලො, කොල්ලො, සහෝදර, සහෝදරියො 21 දා උදේම අවදි වී කිරිබත් ටිකක් කාල තිබෙන හොඳම ඇඳුම ඇඳගෙන ඡන්ද පොළට ගොස් මාලිමාවට කතිරය ගසමු. අප එන්නෙ රට හදන්න.”
ජාතික ජන බලවේගයේ මෙම රැලියට සහභාගි වූ මහා සංඝරත්නය, සිංහල, මුස්ලිම් කථිකයින් ප්‍රකාශ කළේ, අනුර දිසානායක මහතාට රට දෙන්නේ පුනරුද යුගයක් නිර්මාණය කිරීමට බවයි. මෙම අවස්ථාවේ ජාතික ජන බලවේගයට එරෙහිව විවිධ කුමන්ත්‍රණ දියත්වන බව ද ඔවුන් ප්‍රකාශ කළේය. මගෝඩි ගොඩයි චිත්‍රපටය 21 උදේ වන විට ගැලවෙන බව ද පැවසීය. 21 දින අඳුරින් මිදී කුරුල්ලන් ඉගිළෙන බව ද ඔවුන් ප්‍රකාශ කළේය. දුක් වින්ද ජනතාවගේ ඡන්දයෙන් සැප විඳින කොටසක් රටේ සිටින බව ද ඔවුන් කීය. මහජනතාව රජ කරවන පුද්ගලයෙක් ජාතික ජන බලවේගය තුළින් බිහිවන බව ද ඔවුහු පැවසූහ.
“මේ රටේ විශාල මුස්ලිම් ප්‍රජාවක් අද ජාතික ජන බලවේගය සමඟ එක්වී සිටිනවා. මෙරට හතර කොනේ සිටින මුස්ලිම්වරුන්ට එක මවකගේ දරුවන් ලෙස මේ රටේ සියලු දෙනා සමඟ ජීවත් වීමට අවශ්‍යයි. මේ රට වෙනස් කර ගත යුතු ඵෙතිහාසික අවස්ථාවකට පැමිණ තිබෙනවා. ගොවි පුතෙක් රජකමට පත්කර ගන්නට රටේ ජනතාව අද එක්ව සිටිනවා. ජාතිවාදය අපේ විරුද්ධ පාර්ශ්වයන්ට අද පෙරට ගෙන ඒමට නොහැකි වෙලා. මේ ශාසනය රැකෙන්නේ ප්‍රාඩෝ එකෙන්, මොන්ටෙරෝ එකෙන් නෙවේ. ජනතාව දෙන සිව්පසින් තමා ශාසනය රැකෙන්නෙ. ඇතැමුන් මජර දේශපාලනය නැවත, නැවතත් රජ කරවන්න හදනවා. ඈත දුෂ්කර පළාත්වල තිබෙන විහාරස්ථාන පිළිබඳ සොයා බැලිය යුතුයි. මේ වන විට අපේ රටේ මහජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී වැඩි ඡන්දයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කරවීමට සූදානම්. පසුගිය කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන, විවිධ අක්‍රමිකතා පිළිබඳ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ විමර්ශන, පරීක්ෂණ සිදුකරනවා. පාස්කු දා ප්‍රහාරය අපට මතකයි. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳ ඇතැමුන් බිය වෙලා. ජාතික ජන බලවේගය ප්රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරනවා. 21 වෙනකන් අවදියෙන් සිටිය යුතුයි. අප ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අවස්ථාවේ අනුර කුමාර දිසානායක සහෝදරයා කීවේ ඉදිරියට යා යුතු බවයි. එම අවස්ථාවේ දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර, සහෝදරියන්ට ස්තුතියි. අනුර සහෝදරයාගේ නායකත්වය තුළ ජාති භේද, ආගම් භේද නැහැ. අප නිහතමානීව ජය සැමරිය යුතුයි.
‘අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට” යැයි ද ඔවුහු පැවසූහ.
මෙම අවස්ථාව සඳහා නායක හිමිවරුන්, මහා සංඝරත්නය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින්, කලාකරුවන්, විද්වතුන්, වෘත්තිකයින්, ජාතික ජන බලවේගය නියෝජනය කරන විවිධ සංවිධානවල නියෝජිතයින් සහ එහි සාමාජික සාමාජිකයෝ විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
ඡායාරූප – සුදත් නිෂාන්ත
උපාලි කරුණාරත්න