8
රාජපක්ෂවරු අයුතු ලෙස උපයාගත් වත්කමක් ලොව ඕනෑම තැනක තිබෙන බවට ඔප්පු කරන්නේ නම් ලෝකයේ ඕනෑම අධිකරණයක් හමුවේ පෙනී සිටීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ෆයිල් මිටි හංගාගෙන නොසිට ඒවා ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන ඒ මහතා හැකි නම් අයුතු ලෙස උපයා ගත්තායැයි පවසන වත්කම් හෙළි කරන්නැයි ද අභියෝග කරයි.
ඔවුන් ඒ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් රත්නපුරය,ගාල්ල, තිස්සමහාරාමය,මතුගම සහ කැස්බෑව නගරවල දී ඊයේ (18) සහ පෙරේදා (17) පැවති ජනහමුවලට එක්වෙමිනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ජනහමු පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
“මේ ජනතාව පසුගිය මහමැතිවරණයේ දී ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දෙන්න සමත් වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ මහින්ද රාජපක්ෂ මහතා වැඩිම මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගත්තා. ඒ ගෞරවය අපට තිබෙනවා. ඒ විශ්වාසය අපට තිබෙනවා. අපි මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවලින් මේ රටේ සෑම ප්රදේශයකටම වැඩ කළා. එදා මේ රටේ සෑම ගමකම ජීවත්වන මවුපියන්ගේ ආර්ථිකය සවිමත් කිරීමට අපට හොඳ වැඩපිළිවෙළක් තිබුණා. අපි 2015 වර්ෂයට පෙරයි ඒවා ආරම්භ කළේ. අවාසනාවකට 2015 බලයට පත් වූ යහපාලන ආණ්ඩුවට ඒ බොහෝ සංවර්ධන කටයුතු ගැන අවබෝධයක් තිබුණේ නෑ. ඒත් සමහරු හිතුවේ අධිවේගී මාර්ග හදන්නේ ඇඹුල්තියල් ගෙනියන්න කියලයි.
තවත් සමහරු මහාමාර්ග, වාරිමාර්ග, ඇළවේලි හදනවා වෙනුවට පාරවල් හදන්නේ කන්න ද කියලා ඇහුවා. වැව් අමුණු හදලා කෘෂිකර්මාන්තය දියුණු කරනවා වෙනුවට ඒ අය හිතුවේ පිටරටින් ගෙනත් කන්න දෙන එක ලාබයි කියලයි. ඒ අනුව ඒ සෑම ආණ්ඩුවකම ප්‍රතිපත්තිය වුණේ ලංකාවේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන ගොවිතැන, ධීවර කර්මාන්තය, ශක්තිමත් කරනවා වෙනුවට විදේශික සහ ව්‍යාපාරිකයා සමඟ විදෙස් රටවල් සමඟ කරන ගනුදෙනු ශක්තිමත් කිරීමයි. නමුත් අපි ඊට වඩා වෙනස්. මේ රටේ ගොවියාට, ධීවරයාට, කම්කරුවාට, ව්‍යවසායකයාට උදව් කරන්න ඕනෑ කියා අපි හැමදාම විශ්වාස කරනවා.අපි වවන්න පුළුවන් සෑම බිම් අඟලක්ම වවන්න ඕනෑ.
ඒ වගේම අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගන්න පුළුවන් තාක්ෂණය ගොවි ජනතාවට සහ තරුණයන්ට ලබා දෙන්න අපි පියවර ගන්නවා. හොඳ ස්ථාවර මිලක් වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ දැරිය හැකි මිලකට ලබාගන්න පුළුවන් විදියට මේ රටේ ආර්ථිකය පරිවර්තනය කරනවා.අද බොහෝ අය තරගෙට පඩි වැඩි කරන්න යනවා. හැම ප්‍රතිපත්ති ප්‍රකාශයක්ම බැලුවාම ඒ තුළ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ කියා පටන් ගත්තට මැදට යන විට එක්කෙනෙකුට වඩා අනෙක් කෙනා පඩි වැඩි කරන එක ගැන කතා කරනවා. මීට මාස හයකට පෙර රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරනවා නම් බදු මෙච්චර ප්‍රමාණයකින් වැඩි කරන්න ඕනෑ කියා කියූ අය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පඩි වැඩි කරන එක ගැන කතා කර තිබෙනවා.
වාහන ගෙන්වන්න විදිහක් නෑ, ආර්ථිකය තව හදන්න තිබෙනවා කියූ අය අද වාහන ගෙන්වන්න පුළුවන් කියා කතා කරනවා.එකට එකක් පරස්පරවිරෝධී ප්‍රතිපත්ති මේ හැම අපේක්ෂකයෙක්ම ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් රවට්ටන්න හදන්නේ තමාව ද ඡන්ද දායකයාව ද කියන කාරණය හිතාගන්න බෑ. පසුගිය කාලය පුරාම මේ රටේ මහා අර්බුදයක් තිබෙනවා කියා පෙන්වන්න ඕනෑ නිසා එවැනි ප්‍රතිපත්ති එළිදක්වනවා. අපට බොරු කියන්න ඕනෑ නෑ. අපි කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා බැරි දේ බැහැයි කියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපට ඒ විදිහට උගන්වා තිබෙනවා. අපි අභියෝගවලට බය නෑ. අභියෝගවලට ආදරේ කරනවා. එවැනි අභියෝග කරන පිරිසක් තමයි මේ රැස්වීම්වලට සහභාගි වී සිටින්නේත්.
ඔබගේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නියත ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි ඔබ ගැන ආඩම්බර වෙනවා.ඔබ වරදාන, වරප්‍රසාදවලට ගිය අය නොවෙයි. හැමදාම ප්‍රතිපත්තියක් එක්ක සිටියා. වරදාන, වරප්‍රසාද, බැඳීම් සමඟ කටයුතු කරන දේශපාලනඥයන් නිතර නිතර පක්ෂ මාරු කරනවා. ඒක අලුත් දෙයක් නොවෙයි. අපට හෘදසාක්ෂියට එකඟව සැලුන් දොර වහන්න බෑ. නමුත් වහන්න වෙනවා. අපි සැලුන් දොර වහනවා විතරක් නොවෙයි.නැවත කිසි දිනෙක ඒ සැලුන් දොර අරින්න බැරි වෙන්න මේ රටේ පාර්ලිමේන්තුවට නීති ගෙනත් පක්ෂ මාරු කරන එක නතර කරනවා. ඔබේ ඡන්දය අරගෙන යන කෙනා ඔබට ගෞරව කරන්න ඕනෑ. ඔබේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට යන කෙනා ඔබේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනෑ.
මීට අවුරුදු දහයකට පෙර ඒ ප්‍රතිපත්තිය හරි වෙන්න පුළුවන්.මගේ පරම්පරාවේ දේශපාලනය කරන අයට ඒ ප්‍රතිපත්තිය ගැළපෙන්නේ නෑ කියා මා විශ්වාස කරනවා. අපි නූතනත්වයට යන්න ඕනෑ නම් නවීකරණය වෙන්න ඕනෑ. සමහර නායකයෝ හිතනවා නවීකරණය කියන්නේ බටහිරකරණය කියලයි. අලුත් වෙනවා කියා සමහරු කළේ ඇඳුම මාරු කරන එකයි.රෙද්ද බැනියම ගලවලා ටයිකෝට් ඇන්දා. නමුත් ඒක නොවෙයි නවීකරණය කියන්නේ. ඒක බටහිරකරණයයි. නවීකරණය කියන්නේ නූතන රාජ්‍යය යන්ත්‍රණය තාක්ෂණය සමඟ බද්ධ කිරීමයි. දරුවන්ට අවශ්‍ය සංවර්ධනය, හොඳින් ඉගෙන ගැනීම, ඉහළ ආදායමක් ලබන්න පුළුවන් පරිසරය නිර්මාණය කිරීම ආදිය වෙනුවෙන් පසුබිමක් හදන එකයි. අපට රටේ සංවර්ධනය ගැන සැලැස්මක් තිබෙනවා.
එදා මම තාක්ෂණ ඇමැතිවරයා කාලේ තාක්ෂණ ගම්මාන ස්ථාපිත කළා. අපි ඒවායේ වැඩ ආරම්භ කළා. නමුත් අරගලයත් එක්ක ඒ තාක්ෂණ ගමන නතර කර දැම්මා. මම ඒ කාලේ තාක්ෂණ ගම්මාන පහක් ස්ථාපිත කළා. තව අලුතින් හදන්නත් පටන් ගත්තා. අධිවේගී මාර්ගවල පිවිසුම් අබියස ඒ තාක්ෂණ ගම්මාන ඉදිකළා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය නවීකරණය සඳහා තාක්ෂණික කටයුතු කරන්න ඒ ස්ථානවල තාක්ෂණ ගම්මාන ඇති කළා.
දඹුල්ලට යන විට අධිවේගී මාර්ග සම්බන්ධ වෙනවා. මහනුවරට යනවිටත් අධිවේගී මාර්ග සම්බන්ධ වෙනවා. දළදා වහන්සේ වැඳ පුදා ගන්න වගේම හෝරා කිහිපයක් ඇතුළත කතරගමට යන්නත් අවශ්‍ය ආකාරයෙන් අධිවේගී මාර්ග පද්ධතිය ස්ථාපිත කරන්න සැලසුම් කළා. ඒ හැම අධිවේගී මාර්ගයකම පිවිසුම ආසන්නයේ කර්මාන්තයක් ඉදි කර දරුවන්ට රැකියා ටික හදන්න අවශ්‍ය වුණා. ඇඹුල් තියල් පමණක් නොව ගමේ සියලු නිෂ්පාදන අධිවේගී මාර්ග ඔස්සේ වෙළෙඳපොළට රැගෙන යන්නත් අවශ්‍ය සැලසුම් සකස් කළා.නමුත් ඒක වැළලී යන්න ඉඩ තබන්නේ නෑ. එදා කොළඹ වරාය නගරය හොඳ නෑ කියපු අය දැන් හොඳයි කියනවා. ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. එදා අධිවේගී මාර්ග හොඳ නෑ කියපු අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අද අධිවේගී මාර්ග ගැන සඳහන් කරනවා.
තාක්ෂණ ගම්මාන අවශ්‍ය නැහැ කියූ අය අද තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොඩිවට හරි තොරතුරු තාක්ෂණය ගැන සඳහන් කර තිබෙනවා. මම ඒ සම්බන්ධයෙන් සතුටු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා 2014 වසරේ දී දැක්කා 2025 දී ලෝකයේ ආර්ථිකය කොතැනට ද යන්නේ කියලා. 2014 තීන්දු තීරණ ගත්තේ ලෝකයේ ආර්ථිකය යන තැන ගැන හිතලයි. ඊළඟ පරම්පරාවට රැකියා උත්පාදනය කරන්න ඕනෑ කියා හිතලයි. අපි අද තීන්දු තීරණ ගන්නේ වර්තමානයේ අපේ වයස්වල ඉන්න තරුණ තරුණියන්ට වගේම අද පහේ ශිෂ්‍යත්වය ලියන දරුවාට වගේම හෙට උපදින දරුවාටත් සංවර්ධිත රටක් බවට මේ රට පත්කරන්න අවශ්‍ය සැලැස්මක් එක්කයි.අපි මේ රටට ආදරෙයි. අපි මේ මහ පොළොවට ආදරෙයි. අපි මේ රට බෙදන්න වෙන් කරන්න ඉඩ දෙන්නෙ නැත්තේ ඒ නිසයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිගෙන් අපි ලබපු ආදර්ශය ඒකයි. අපි මේ මහපොළොවට, ගහකොළට සතා සිව්පාවාට ආදරේ නිසා තමයි මිනිස්සු අපට ආදරේ. තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනා තමයි බොහෝ වෙලාවට තමන් එක්ක තරහ වෙන්නේ. අපිත් එක්ක හිත් අමනාපකමක් ඇතිකරගෙන ඉන්න අය අපට ආදරේ කරපු අය. ඒක සාධාරණයි. හිත් බිඳිලා තිබෙන අය අපට ආදරය කළ අයයි. අපට වෛර කරපු අයගේ හිත් බිඳලා නෑ. ඒ අය තාම වෛරයෙන් ඉන්නවා. අපට ආදරේ කළ අයගේ සිත් සන්සිඳුවීමේ වගකීමත් මට තිබෙනවා. අපි අතින් යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම් ඒක නිවැරදි කරගන්න ඕනෑ. අපි කවදාවත් මේ රටේ ජනතාවට හානියක් වන තීන්දු තීරණ අරගෙන නෑ. සද්භාවයෙන් තීන්දු තීරණ ගත්තා. මේ රට බලශක්තියෙන්, ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න අපට සැලැස්මක් තිබෙනවා.
කිසි දවසක එවැනි අභියෝගයකට යළිත් වරක් මුහුණනොදෙන ආකාරයට මේ රටේ බලශක්තිය සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න අවශ්‍යයි. අපි වගකීම තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසා විසි එක්වැනිදාට මේ රටේ අනාගතය ගොඩනඟන්න අවශ්‍ය පැහැදිලි දැක්මක් එක්ක ඉදිරියට මේ රට රැගෙන යන්න. අපි මේ රට ගොඩනඟන්න යන දේශපාලන ගමනක්. එදා මහින්ද රාජපක්ෂ මහතා පටන්ගත්ත වයඹ මහා ඇළ අපි යළි පටන්ගනිමු. එදා අතරමඟ නතර වුණු වාරි යෝජනා ක්‍රම අපි නැවත පටන් ගනිමු. එදා අතරමඟ නතර කෙරුණු සියලු සංවර්ධන වැඩ කටයුතු අපි නැවත පටන් ගනිමු. ඒ වගේම ශාසනය ආරක්ෂා කරගන්නත් අලුත් පරම්පරාව පෙළගස්වමු. රට බෙදන්නේ නැතිව සියලු ආගම්වලට, තමන්ගේ ආගම අදහනවා වගේම බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගත් මේ ජන සමාජයේ සියලු සංස්කෘතීන් ආරක්ෂා කරගන්න පුළුවන් අලුත් දේශපාලන බලවේගයක් අපි ගොඩනඟමු. ඒ දේශපාලන බලවේගයත් සමඟ අත්වැල් බැඳගන්න.”
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි
පසුගිය කාලේ බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ රූපය ගහගෙන පාර්ලිමේන්තුවට ගියා. නමුත් අද එයින් බොහෝ පිරිසක් දේශපාලන වශයෙන් වෙනත් කඳවුරක ඉන්නවා. මේ රට අනුරට භාර දෙන්න කියා අනුර කුමාර දිසානායක කියනවා. රට අනුරට කියලා ගහලා තියෙන්නෙත් මහින්ද රාජපක්ෂ හදලා තිබෙන ලයිට් කණුවේ. රට ආපස්සට ඇද දැමූ පුද්ගලයා ජනාධිපතිකම ඉල්ලනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණයෙන් පසුව වසංගත ආවා. ආර්ථික වශයෙන් අර්බුදයක් ආවා. ඒ අවස්ථාවේ ජවිපෙ දේශපාලන ක්‍රියාදාමයක නිරත වුණා. ඔවුන් බලය ගන්න වෙනම අරගල කළා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිෙවසට පහර දුන්නා. ඔවුන් මේ රට වැට්ටුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා-
“දකුණේ ජනතාව කියන්නේ අපේ මිනිස්සු. ඒක මුලින්ම කියන්න ඕනෑ. ලබන 21 වැනිදා රටට හතුරු කුමන්ත්‍රණය පරාජය කිරීමේ ජාතික වගකීමක් අද අපි ඔක්කොටම තිබෙනවා. එක පැත්තකින් විදේශීය බලවේග. ඔවුන්ට අවශ්‍ය නායකයා බලයට ගේන්න අද වැඩ කරනවා. ඇතැම් නායකයන් අද ඔවුන්ගේ රූකඩ බවට පත්වෙලා. රට අනතුරේ දාන මේ කුමන්ත්‍රණය අපි පරාජය කරන්න ඕනෑ. ඔබ අතර ඉන්න කවුරුවත් රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඉල්ලනවා ද? රට බෙදන්න ඉල්ලනව ද? නෑ. මම හිතන්නේ නෑ කවුරුත් එහෙම ඉල්ලනවා කියලා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහත්වරු සහ ප්‍රවීණ රංගන ශිල්පිනි අනුෂා දමයන්ති මහත්මියද මෙහිදී අදහස් දැක්වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය- සුලෝචන ගමගේ
මහින්ද අලුත්ගෙදර තිස්සමහාරාමයේ සිට…