7
සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව සිදු කළ වෙනස්කම් දෙකම සාර්ථකත්වයට පත්කරමින් අංක හතේ සිට 5ට උසස්වූ කමිඳු මෙන්ඩිස් හා අංක තුනේ සිට 7ට පහළට ආ කුසල් මෙන්ඩිස් හයවැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් ගොඩනඟා ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළහ. කමිඳු මෙන්ඩිස් තම 4 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 114ක් එක්කළ අතර, කුසල් මෙන්ඩිස් 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කර සිටියදී ලකුණු 50කට දැවී ගියේය.
කමිඳු මෙන්ඩිස් වසර දෙකකට පසු ටෙස්ට් පිටියට මේ වසරේ මාර්තු මාසයේ පැමිණ වාර්තා කළ තෙවැනි ටෙස්ට් ශතකය මෙයවීම විශේෂත්වයකි. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 7කදී ලැබූ ශතක 4ට අමතරව අර්ධ ශතක 4ක් ලබා ගත්තේය. ඊයේ වාර්තා කළ ලකුණු 114ත් සමඟ වසරක් වැනි කෙටි කලක් තුළ ටෙස්ට් ලකුණු 809ක් සම්පූර්ණ කොට තිබේ.
මේ සමඟ කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් සම කිරීමට සමත් වූවේය.
කමිඳු එලෙස සමකර ඇත්තේ පිතිකරුවකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50ට වැඩියෙන් ලකුණු රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයකු විසින් තබා තිබූ ලෝක වර්තාවය. පාකිස්තාන ක්‍රීඩක සවුද් ෂකීල් සිය පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කොට 2022දී මේ ලෝක වාර්තාව පිහිටුවා ඇත.
මේ තරගයේ කුසල්ගේ දැවී යෑම කලාතුරකින් දකින්නට සිදුවන විකාරරූපී දැවී යෑමක් වූ අතර, ග්ලේන් පිලිප්ස් එවූ කෙටි පන්දුවකට එල්ල කළ ‘පුල් පහර’ ෂෝට් ලෙග්හී සිටි ටොම් ලෙතම්ගේ ඇඟේ වැදී මිඩ්විකට් දෙසට උඩින් යද්දී ටිම් සවුති රැකගෙන දවා ගැනීම සටහන් කළේය. මේ දැවී යෑම කුසල්ට පුදුමසහගත වූ අතර, නවසීලන්ත ක්‍රීඩකයන්ට ආශ්වාදජනක අත්දැකීමක් විය.
ශ්‍රී ලංකා පිල ඊයේ පළමු දිනය නිමාවෙද්දී මුල් ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබාසිටි අතර, රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 14ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. නායකත්වයට පත්වීමෙන් අනතුරුව පිට පිට 5 වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වා ගාලු තණතිල්ල පිතිකරුවන්ට වාසිදායක බව සිතා පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණය අභියෝගයට ලක්කළ නවසීලන්ත වේග පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පළමු කඩුලු දෙක ලකුණු 33කදී දවා ගැනීමට සමත් වූහ.
එවැනි අසීරු තත්ත්වයකට පත්ව සිටියදී කලකට පසු අංක තුන ස්ථානයට පැමිණි දිනේෂ් චන්දිමාල් හා කමිඳු මෙන්ඩිස් දිවා විවේකය දක්වා ලකුණු 18ක සබඳතාවක් ගොඩනඟා ගත්තද, යළි තරගය ආරම්භවී සිව්වැනි පන්දුවේදී චන්දිමාල් ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ලකුණු 30කට දැවී ගිය අතර, නායක ධනංජය ලකුණු 11කට දැවී ගියේය.
විලියම් ඕ’රූක් යැවූ 22 වැනි ඕවරය අවසන් වෙද්දී දකුණු අතේ මාපටැඟිල්ලට පන්දුව වැදී අතරමගදී පිටියෙන් ඉවතට ගොස් සිටි මැතිව්ස් යළි පිටියට පැමිණ 5වැනි කඩුල්ලට කමිඳු සමඟ එක්ව පන්දු 128කදී ලකුණු 72ක සබඳතාවක් ගොඩනඟා ගැනීමෙන් ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක් වූවේය. මැතිව්ස් තේ පානයට ඔන්න මෙන්න තිබියදී ලකුණු 36කට දැවී ගියේය.
අද තරගයේ දෙවැනි දිනයයි.
ප්රින්ස් ගුණසේකර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට…