8
ලබන මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත් වන අතර, එක් අතිරේක ක්‍රීඩිකාවක් එක් කිරීමට ද කටයුතු කර ඇත.
මේ සංචිතයට පළපුරුදු ක්‍රීඩිකාවක වන ඉනෝකා රණවීර කැඳවා තිබීම විශේෂත්වයක් වන අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පිල අවසන් වරට සහභාගි වූ අයර්ලන්ත සංචාරයට නම් කර සිටි කාව්‍යා කාවින්දිට ස්ථානය අහිමි වී තිබේ. ඇය ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කළාය.
38 හැවිරිදි ඉනෝකා රණවීර අවසන් වරට පසුගිය ජූනි මාසයේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගාවලියට එක් වූවාය. මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර තරග 82ක් ක්‍රීඩා කර ඇති ඉනෝකා දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 91කි.
මේ අතර අවසන් වරට පැවති තරගාවලියේ ක්‍රීඩිකාවන් 15 දෙනා අතර සිටි කෞෂානි නුත්‍යාංගනා මේ සංචිතයට අතිරේක ක්‍රීඩිකාවක ලෙසින් නම් කොට තිබේ.
කාන්තා ලෝක කුසලාන තරගාවලිය ලබන මස 3 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන අතර, ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල පළමු දිනයේම පාකිස්තානයට එරෙහිව සාජාහිදී පිටියට පිවිසෙයි.
5 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව, 9 වැනිදා ඉන්දියාවට එරෙහිව, 12 වැනිදා නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිල මූලික වටයේදී තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, සුගන්ධිකා කුමාරි, අතිරේක – කෞෂානි නුත්‍යාංගනා.
නිරෝෂාන් ප්‍රියංකර