17
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සහභාගිවූ පළමු තරගයෙන් නවසීලන්ත සංවර්ධිත පිල පරදවා ලකුණු 69ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමත් විය.
බ්‍රිස්බේන්හි ඇලන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 148ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට ඕවර 17.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 79කි.
ඊව් වොලන්ඩ් ලකුණු 24ක් රැස් කරමින් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, පන්දු යැවීමේදී ප්‍රමුදි මෙත්සරා කඩුලු 3ක්, රශ්මිකා සෙව්වන්දි, අශේනි තලගුණේ සහ චමුදි ප්‍රබෝධා කඩුලු 2 බැගින් දවා ගත්හ. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමට රශ්මිකා සෙව්වන්දි වේගවත් ලකුණු 36ක් එක් කළේ පන්දු 19කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟිනි. ඇය රශ්මි නේත්‍රාංජලී (3) සමඟ එක්ව අවසන් පන්දු 21න් ලකුණු 37ක් ඉනිමට එක් කළාය. ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි හතරේ පහර 3ක් සමඟ පන්දු 38කින් ලකුණු 30ක් රැස් කළ අතර, මනුදි නානායක්කාර ලකුණු 19ක් සහ සුමුදු නිසංසලා ලකුණු 16ක් ඉනිමට එක් කළහ.
මේ අතර තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා පැවති පළමු තරගයේදී නවසීලන්ත සංවර්ධිත පිල කඩුලු 8කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමත් විය.
මේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය හෙට (22) ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වේ.
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල – 148/7 (ඕවර 20) රශ්මිකා සෙව්වන්දි නොදැවී 36, සංජනා කාවින්දි 30, මනුදි නානායක්කාර 19, සුමුදු නිසංසලා 16, දහමා සෙනෙත්මා 13 (අනිකා ටොඩ් 20/3)
නවසීලන්ත සංවර්ධිත කාන්තා පිල – 79 (ඕවර 17.3) ඊව් වොලන්ඩ් 24, අනිකා ටොඩ් 12 (ප්‍රමුදි මෙත්සරා 6/3, රශ්මිකා සෙව්වන්දි 14/2, අශේනි තලගුණේ 16/2, චමුදි ප්‍රබෝධා 17/2)