29
පුද්ගලයන් 12 දෙනකුට මරු කැඳවමින්ද, තවත් පුද්ගලයන් තුන්දහසකට තුවාල සිදු කරමින් ද ලෙබනනයේ දී අබිරහස් ලෙස එකවර පිපිරී ගිය හෙස්බුල්ලා සාමාජිකයන් සතුව තිබූ පේජර් පණිවිඩ යන්ත්‍ර නිෂ්පාදනය සිදු කළ බව කියන හංගේරියාවේ බීඒසී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ඉතාලි -හංගේරියා සම්භවයක් ඇති 49 හැවිරිදි කාන්තාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ක්‍රිස්ටිනා බාර්සොනි නමැති මේ ව්‍යාපාරිකාව බීඒසී සමාගමේ හිමිකාරීත්වය දරන බවත්, එම සමාගම පිපිරී ගිය වර්ගයේ පේජර් නිෂ්පාදනය කරනු ලබන තායිවාන සමාගමේ සැපයුම් ආයතනයක් ලෙස ලියාපදිංචි වී සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ලන්ඩන් නුවර යුනිවර්සිටි කොලේජ්හි භෞතික විද්‍යා ආචාර්ය උපාධිධාරිනියක වන ක්‍රිස්ටිනා භාෂා 7ක් චතුර ලෙස කතා කළ හැකි කාන්තාවක් වන අතර, ඇය ලෙබනනයේ පුපුරා ගිය පේජර් නිෂ්පාදනය කරනු ලැබුවේ ඊශ්‍රායලයේ අවශ්‍යතාව පරිදි බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ. පේජර් යන්ත්‍ර පිපිරීමෙන් පසු මරණ තර්ජන එල්ල වී ඇතැයි කියන ක්‍රිස්ටිනා බාර්සොනි මේ වනවිට හංගේරියාවේ බුද්ධි අංශයේ රැකවරණය යටතේ සිටින බව ඇගේ මව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.