Home Sport News Room : ශතක සටනින් ජයගත් කොළඹ පිල කලින්ම

News Room : ශතක සටනින් ජයගත් කොළඹ පිල කලින්ම

0
0

එන්එස්එල් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (24) හම්බන්තොටදී ශතක සටනක නිරතවූ කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් අත්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. මේ සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට කොළඹ පිල සමත් වූ අතර, ඒ සමඟ අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට ද ඔවුන් සමත් වූහ.

කණ්ඩායම් 5ක් එක්වන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබන අතර, තරග 7කින් 6ක් ජයගත් කොළඹ පිල තරගයක් ද ඉතිරිව තිබියදී ලකුණු 12ක් සමඟ ඉදිරියෙන්ම සිටී. තරග 6කින් 4ක් ජයගත් ගාල්ල (8) දෙවැනි ස්ථානයේ පසුවන අතර, ඔවුන්ට ඉතිරි තරග දෙක ජයගත්තත් ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 12කි. තරග දෙකක් ඉතිරිව ඇති යාපනයට (7) එම තරග දෙක ජයගත්ත ද ලබා ගත හැක්කේ ලකුණු 11ක් පමණි.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ පිල කඩුලු 5ක් දැවී ලකුණු 325ක් රැස් කළ අතර, නුවනිඳු ප්‍රනාන්දු සහ නිපුන් ධනංජය ඉනිම ශතකවලින් සවිමත් කළහ.

මහනුවර පිළිතුරු ඉනිමේදී සහන් ආරච්චිගේ සහ අහන් වික්‍රමසිංහ ශතක රැස් කළ ද සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 320ක් පමණි.

‘ඒ’ කාණ්ඩයේ තරගවල සිය හොඳම ඉනිම ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු ඊයේ ලකුණු 164ක් රැස් කළ අතර, පන්දු 138කදී හතරේ පහර 18කින් සහ හයේ පහර 5කින් අලංකාර වූ එම ශතකය ඔහුගේ ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ශතකය විය. ඔහුට අනගි සහායක් දුන් නිපුන් ධනංජය පන්දු 132කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 116ක් රැස් කළ අතර, දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 215කි.

මහනුවර නායක සහන් ආරච්චිගේ ‘ඒ’ කාණ්ඩයේ සිය මංගල ශතකය ලෙස පන්දු 128කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 120ක් රැස් කළ අතර, අහන් වික්‍රමසිංහ දෙවැනි ශතකය ලෙස ලකුණු 100ක් රැස් කළේ පන්දු 97කදී හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟිනි. 6 වැනි කඩුල්ලට ලකුණු 167ක සබඳතාවක් ගොඩනැඟීමට ඔවුන් දෙදෙනා සමත් වූහ.

දඹුල්ල පළමු ජය ලබයි

මෙවර තරගාවලියේ පිට පිට තරග 5ක් පරාජය වී සිටි දඹුලු කණ්ඩායම සිය පළමු ජය අත්කර ගැනීමට ඊයේ සමත් විය.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ ගාල්ල ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 187කින් පරාජය කරමින් මේ ජය අත්කර ගැනීම කැපී පෙනුණි.

කෙසේ වෙතත් ගාලු පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේම පසුවන අතර, දඹුලු පිල අවසන් ස්ථානයේ පසු වෙයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුලු පිල කඩුලු 9ක් දැවී ලකුණු 303ක් රැස් කළ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායමට ඕවර 41කදී ලකුණු 296ක ඉලක්කයක් හිමි වූ අතර, ඕවර 23.5කදී සියල්ලන් දැවී ඔවුන්ට රැස් කළ හැකි වූයේ ලකුණු 108ක් පමණි.

දඹුලු පිල වෙනුවෙන් ලසිත් කෘස්පුල්ලේ පන්දු 87කින් ලකුණු 110ක් රැස් කළේ හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟිනි.

ගාලු ඉනිමේදී ලකුණු 40ක් රැස් කළ රවිඳු රසාන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පිතිකරුවන් 9 දෙනකුටම ලකුණු 20 සීමාවට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි.

කොළඹට ලකුණු 5ක ජයක්

කොළඹ – 325/5 (ඕවර 50) නුවනිඳු ප්‍රනාන්දු 164, නිපුන් ධනංජය 116 (නිපුන් රන්සික 60/4)

මහනුවර – 320 (ඕවර 49.5) සහන් ආරච්චිගේ 120, අහන් වික්‍රමසිංහ 100 (නුවනිඳු ප්‍රනාන්දු 63/3, ප්‍රමෝද් මදුෂාන් 56/2)

දඹුල්ලට ලකුණු 187ක ජයක්

දඹුල්ල – 303/9 (ඕවර 50) ලසිත් කෘස්පුල්ලේ 110, දුෂාන් හේමන්ත 65, දිනුර අබේවික්‍රමසිංහ 47 (මුදිත ලක්ෂාන් 46/3, සනෝජ් දර්ශික 48/2, දුනිත් වෙල්ලාලගේ 54/2)

ගාල්ල – 108 (ඕවර 23.5) ඉලක්කය ඕවර 41කදී 296යි. රවිඳු රසාන්ත 40 (කසුන් රාජිත 42/4, ලක්ෂාන් සඳකැන් 9/2)

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here