26
සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට ආරම්භ වේ. මේ තරගාවලියේ පළමු තරගය ලකුණු 63කින් ජය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රාහී මනසකින් අද තරගයට පිවිසෙති.
කෙසේ වුවද මේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. තවමත් ටෙස්ට් වරම් ලබා නැති පිට දඟපන්දු යවන නිශාන් පීරිස්ට අද දිනයේ ටෙස්ට් වරම් හිමිවන අතර, තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක යළි කණ්ඩායමට කැඳවා ඇත. ඒ පළමු තරගයට ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් හා ළහිරු කුමාර වෙනුවටය. 27 හැවිරිදි නිශාන් පීරිස් ශ්‍රී ලංකාවේ 167 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අද දින ඉතිහාසගත වනු ඇත. පළමු පෙළ තරග 41කදී පළමු කඩුලු 172ක් දවාගෙන ඇති නිශාන්, එහි සාමාන්‍ය 24.37ක් සටහන් කොට ඇත. පසුගියදා දකුණු අප්‍රිකාවේදී නිමාවූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී කඩුලු තුනක් දවා ගැනීමෙන් අනතුරුව මේ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඔහුට හදිසි කැඳවීමක් ලැබිණි.
දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කළ රමේෂ් මෙන්ඩිස් පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 6 ක් ලබා ගත්තද ඉනිම දෙකේදීම ලකුණු 184ක් ප්‍රතිවාදීන්ට ලබාදීමෙන් එම පිතිකරුවන් නිදහසක් ලැබූ අතර, ළහිරු කුමාරට කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි විය.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් වන මේ තරගාවලියේ සම්පූර්ණ ජය සොයා ශ්‍රී ලංකා පිල තරග බිමට පිවිසෙන අතර එම අරමුණ සාර්ථක වුවහොත් ටෙස්ට් තරග 9කදී 5 වැනි ජයග්‍රහණය සනිටුහන් කරමින් ලකුණු ප්‍රතිශතය වැඩි කර ගැනීමේ හැකියාව උදාවේ. දැනටමත් අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි ටෙස්ට් ජයග්‍රහණ සියල්ල වැදගත් වේ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මේ වන විට ටෙස්ට් තරග 45ක් පවත්වා ඇති අතර, පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම් තරග 24ක් ජයගෙන, දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායම් තරග 15ක ජය වාර්තා කොට තිබේ. එබැවින් මේ ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා ගැනීම හා මුලින් පන්දුවට පහරදීම ප්‍රධාන සාධකයක් වේ.
කාලගුණ වාර්තාවලට අනුව අද දින ගාල්ලේ උෂ්ණත්වය දිවා කාලයේදී සෙල්සියස් අංශක 30 සහ පස්වරුවේ සෙල්සියස් අංශක 27ක් පමණ වේ. තරගයේ පළමු දිනය තුළ සුළු වර්ෂාපතනයක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව කාලගුණ අනාවැකි සඳහන් කරයි.
ඊයේ ගාල්ල ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා පැවසුවේ සියලු ක්‍රීඩකයන්ට නිදහසේ පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
“මේ තරගයට නිශාන්ව ගෙනත් තියෙනවා. දකුණු අප්‍රිකාවෙන් ඔහු ගෙන්වූවේ අවශ්‍ය වුණොත් ක්‍රීඩා කරන්නයි. අපි දන්නවා නවකයන්ට වගේම ක්‍රිකට් දිවිය අවසන් වෙද්දී ජ්‍යෙෂ්ඨයන්ටත් පීඩනයක් තියෙනවා. අපි සියලු ක්‍රීඩකයන්ට නිදහසේ පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදී තිබෙනවා. අංක අටේ සිට පන්දුවට පහරදෙන ක්‍රීඩකයන්ට අපි කියන්නේ අනෙක් අන්තයේ පිතිකරුට සහාය දෙන ලෙසයි. ලෝකයේ අනෙක් කණ්ඩායම් සමඟ සංසන්දනය කරද්දී අපේ අග පෙළ පිතිකරුවන් හොඳ මදි. ඔවුන් දියුණු කර ගත යුතුයි. අඩුම තරමේ ලකුණු 30ක් 40ක් අග පිතිකරුවන්ගෙන් ලැබෙනවා නම් හොඳයි” තිළිණ කණ්ඩම්බි මහතා පැවසීය.
අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල: ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, නිශාන් පීරිස්, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු.
ප්‍රින්ස් ගුණසේකර
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට…