13
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ප්‍රවර්ධන කිරීමට ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විට්සර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් පෙරේදා (11) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්විට්සර්ලන්ත තානාපතිනිය හමුවේ කියා සිටියේ මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ස්විට්සර්ලන්ත රජයෙන් ලබා දිය හැකි උපරිම උදව් උපකාර ආදිය ලබා දෙන ලෙසයි. එසේම ෆොසිල ඉන්ධනවලින් පුනර්ජනනීය බලශක්තියට මාරුවීම සඳහා ස්විට්සර්ලන්තයේ 2023 සිදු කෙරුණු නීති සම්පාදනය ප්‍රශංසාවට ලක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඓතිහාසික පියවරක් ලෙස හැඳින්වීය.
පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවූ විදුලි ඇනහිටීම සම්බන්ධයෙන් කතා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පසුගිය කාලය පුරාම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස තමා ඇතුළු පිරිස දිගින් දිගටම රජයට යෝජනා කර සිටි බවයි. විදුලි පරිභෝජනය සහ බලශක්ති උත්පාදනය හේතුවෙන් ඇති වූ පද්ධති අසමතුලිතතාවන් මෙම විදුලිය ඇනහිටීමට හේතු වූ බව පැහැදිලි කළේය. පරිපාලනය නොසලකා හැර ඇති තීරණාත්මක යටිතල පහසුකම් වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සහ පොම්ප කරන ලද ගබඩා බලාගාර (PSPP) සඳහා හදිසි අවශ්‍යතාවය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.
එබැවින් විදුලි කප්පාදුවෙන් තොරව ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන පියවර ගැනීම රජය කඩිනමින් සිදු කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විට්සර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා සිටියේය.
රක්ෂණ ශ්‍රියන්ත