1
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම තාවකාලිකව අත්හිටුවීමට හමාස් සංවිධානය ගත් තීරණයෙන් යළි උද්ගතවූ ගාසා තීරයේ යුද උණුසුම ඊජිප්තුවේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් යළි සක්‍රිය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සටන් විරාම ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඊයේ කයිරෝ නුවරදී හමාස් සංවිධානයේ ඉහළම මට්ටමේ නියෝජිතයන් පිරිසක් සමඟ ඊජිප්තු සහ කටාර් නියෝජිතයන් පැවැත්වූ සාකච්ඡාවෙන් පසු හමාස් සංවිධානය සිය තීරණය වෙනස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඒ අනුව නියමිත පරිදි සිරකරු සහ ප්‍රාණ ඇපකරු හුවමාරුව සිදුවනු ඇතැයි වාර්තා වේ.
පසුගිය ජනවාරි මස මැද භාගයේදී ආරම්භ වූ සටන් විරාම ගිවිසුමේ සති 6ක පළමු අදියර යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනකු නිදහස් කිරිමට හමාස් සංවිධානය බැඳී සිටින අතර, එම කාලය ඇතුළත පලස්තීන යුද සිරකරුවන් 1,900ක් නිදහස් කිරීමට ඊශ්‍රායල රජය එකඟ වී තිබිණි. මේ වන විට හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 17 දෙනකු නිදහස් කර ඇති බවත්, පලස්තීන යුද සිරකරුවන් 566 දෙනකු ඊශ්‍රායලයේ සිට නැවත ගාසා තීරයට පැමිණ ඇති බවත් වාර්තා වේ.
ලබන සෙනසුරාදා වන විට සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් සටන් විරාම ගිවිසුම අහෝසි වනු ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇති අතර, හමාස් සංවිධානයේ තීරණයෙන් ගාසා තීරය නිරයක් බවට පත්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අනතුරු අඟවා තිබිණි.