15
ඉන්දියාවේ නවදිල්ලි නුවර දුම්රිය ස්ථානයේ සිදුවූ අධික තෙරපුමකින් මගීන් 18 දෙනකුට දිවි අහිමි වී ඇතැයි ද, තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය.
මියගිය අය අතර දරුවන් පස්දෙනකු සහ කාන්තාවන් 11 දෙනකු සිටින බව දුම්රිය බලධාරීන් තහවුරු කර ඇතැයි ද වාර්තා වේ. මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ් නුවර පැවැත්වෙන මහකුම්භමේලා උත්සවයට සහභාගිවීම සඳහා දුම්රිය ස්ථානයට පැමිණ සිටි බැතිමතුන් බව ද වාර්තා වේ. ගමනාන්තය බලා ධාවනය වීමට නියමිත දුම්රිය දෙකක් ප්‍රමාදවීම හේතුවෙන් එම තදබදය හටගත් බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
එදින දිනය පුරා පැයකට දුම්රිය ප්‍රවේශපත්‍ර 1,500 බැගින් අලෙවි වී ඇති අතර, ගමනාන්තය කරා ධාවනය වන ප්‍රයාග්රාජ් එක්ස්ප්‍රස් දුම්රිය 14 වැනි වේදිකාවට ළඟාවන විට එහි අතිවිශාල බැතිමතුන් පිරිසක් රැස්ව සිටි බව ද වාර්තා වේ. මගීන් දුම්රියට නැඟීමට උත්සාහ කරද්දී දැඩි නොසන්සුන් තත්ත්වයක් සමඟ තෙරපීම සිදුවී ඇති අතර, එම තත්ත්වය පාලනය කිරිමට ආරක්ෂක අංශය අසමත්වූ බව ද වාර්තා වේ.
දුම්රිය ප්‍රමාදය සහ මගීන්ගේ තෙරපීමේ සිදුවීම සම්බන්ධව ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය නියෝග කර ඇති බවත්, මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් පිරිනැමීමට තීරණය කර ඇති බවත් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය සඳහන් කරයි.