Home Sport News Room : පැතුම්-කමිඳු පිළිබඳ මටත් වඩා විශ්වාසයි

News Room : පැතුම්-කමිඳු පිළිබඳ මටත් වඩා විශ්වාසයි

0
0

ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරග දෙකේදී ලකුණු අතර නොසිටි පැතුම් නිස්සංක හා කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් දෙදෙනාම ශ්‍රී ලංකා පිලේ වටිනාම සම්පත් බවත්, ඔවුන් දෙදෙනා ඉදිරියේදී රට වෙනුවෙන් දක්වන දක්ෂතා පිළිබඳ තමන්ට වඩා විශ්වාසය තැබිය හැකි බවත් දෙවැනි එක්දින තරගයේ වීරයා සම්මානය දිනාගත් කුසල් මෙන්ඩිස් පැවසීය. එමෙන්ම එක්දින පිටියේ අංක එකේ කණ්ඩායම වන ඔස්ට්‍රේලියානු පිල පරාජයට පත්කිරීම ශ්‍රී ලංකා පිල ලැබූ විශාල ජයග්‍රහණයක් බව සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් පැවසීය.

“සමහර තරගවලදී පිතිකරුවන් අසාර්ථක වෙන්න පුළුවන්. කමිඳු හා පැතුම් වැරදි පහරවල් ගහලා නොවෙයි දැවී ගියේ. ඔවුන් දෙන්නා පිළිබඳව මටත් වඩා මා විශ්වාසය තබනවා. අවශ්‍ය වන්නේ ඔවුන්ට තවදුරටත් විශ්වාසය ලබාදීමයි. ඉදිරි තරගවලදී හොඳින් තමන්ගේ වගකීම ඔවුන් ඉටු කරයි. පළමු තරගයෙන් පසු අපි සැලසුමක් හදා ගත්තා. නිශාන් මධුෂ්ක පළපුරුදු ක්‍රීඩකයෙක් වගේ ක්‍රීඩා කළා. චරිත් එක්දින හා විස්සයි20 හොඳ නායකයෙක්. නායකයකු ලෙස කළ යුතු දේ ඔහු දන්නවා. ධනාත්මක අදහස් ලබාදෙන සුහදශීලී නායකයෙක් සමඟ කටයුතු කිරීම සතුටක්” කුසල් මෙන්ඩිස් පැවසීය.

කුසල් මෙන්ඩිස් දෙවැනි එක්දින තරගයේදී පන්දු 115කට මුහුණ දී හතරේ පහර 11ක් සමඟ ලකුණු 101ක් ලබා තම 5 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළේය.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් පැවසුවේ ඔස්ට්‍රේලියාව වැනි කණ්ඩායමක් පරාජය කිරීම විශාල සතුටක් බවය. “එළැඹෙන චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම පරාජය කිරීම අපේ දක්ෂතාවයි.

ඔවුන්ගේ අංක එකේ ක්‍රීඩකයන් සියලු දෙනා හිටියා. ඔවුන් වේග පන්දුවට හොඳින් පහර දෙන අය. ඒ වුණත් ඔවුන්ටත් හොඳින් පන්දුව‌ට පහර දෙන්න බැරි වුණා. දෙවැනි තරගයත් හොඳ විකට් එකක තිබුණේ. මොකද පිතිකරුවන්ට ලකුණු ගන්න ලෙහෙසි නෑ. මේ වගේ විකට්වලට අපි හුරු විය යුතුයි”

“අන්තිම මාස පහ හයේදී අපට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. පුහුණු කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය විශාලයි. ඒ නිසා දැන් පිතිකරුවන්ට හා පන්දු යවන්නන්ට ක්‍රීඩාව කිරීම පහසුයි. ජෙහාන් මුබාරක් ඉන්නවා දැන් අපේ දුර්වල තැන් විශ්ලේෂණය කරලා ඒවා හදා ගන්න උදව්වට. පුහුණුවට යන්නේ ඒ අවබෝධය ලබා ගෙනයි. වසර දෙක තුනකට කලින් අපි ලෝක ශ්‍රේණිගත කිරීමේ පහළ හිටියේ. ක්‍රීඩකයන් විදිහට ගොඩක් ඒ ගැන කනගාටු වුණා. අපි සැලසුම් කළේ කොහොම හරි පළමු කණ්ඩායම් අට අතරට එන්න. දැන් ඉන්න තැන ගැන සතුටුයි.”

ඔස්ට්‍රේලියාව සමඟ නිමාවූ එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව අයිසීසී ලෝක ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here