Home Sport News Room : ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජගත් පිටියේ මාස 5ක දිගු විරාමයක්

News Room : ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජගත් පිටියේ මාස 5ක දිගු විරාමයක්

0
0

ඉදිරි මාස 5ක කාල සීමාවකදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිසිවක් නොමැති හෙයින් ටෙස්ට්, එක්දින හා විස්සයි20 ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තලයේ දීර්ඝ විවේකයක් හිමිව ඇත. නිමාවට පත්වූ ඔස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් හා එක්දින තරගවලින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ එළැඹෙන ජූලි මාසයේදී බංග්ලාදේශය සමඟ තරගාවලියෙන් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙති. බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරග 2ක්, එක්දින ජාත්‍යන්තර තරග 3ක් හා විස්සයි20 තරග 3ක් ශ්‍රී ලංකාවෙදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පාකිස්තානයේදී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෙට ආරම්භවන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල සුදුසුකම් නොලැබීම හේතුවෙන් එම කාලය තුළදී ජාත්‍යන්තර තරග අහිමිවී ගියේය. එමෙන්ම අප්‍රේල් මාසයේදී ආරම්භවන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය හේතුකොට ගෙන ශ්‍රී ලංකාවට මෙන්ම බොහෝ රටවලට ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහනේ වි‍වේක ගැනීමට සිදුව ඇත.

ශ්‍රී ලංකාව මේ වසරේදී සහභාගිවූ නවසීලන්තය සමඟ විස්සයි20 තරග‍යෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගත් අතර, නවසීලන්තයට එ‍රෙහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස පරාජය විය. ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0කින් පරාජය වුවද, එක්දින ජාත්‍යන්තර තරගාවලියෙන් ශ්‍රී ලංකාව 2-0ක විශිෂ්ට ජයක් ලැබීය.

මේ වසරේ ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බංග්ලා‍දේශ තරගාවලියෙන් අනතුරුව අගෝස්තු – සැප්තැම්බර් මාසයේදී සිම්බාබ්වේහි එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක් ක්‍රීඩා කිරීමට ඇත. එළැඹෙන ඔක්තෝබර් මාස‍යේදී ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව සහභාගිවන විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වේ.

අනතුරුව ඔක්තෝබර් – නොවැම්බර් අතර කාලයේදී එක්දින ජාත්‍යන්තර තරග 3කට හා විස්සයි20 තරග 3කට අයර්ලන්ත පිල ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පිල එක්දින ජාත්‍යන්තර තරග 3කට හා විස්සයි20 තරග 3කට පාකිස්තානය බලා පිටත්වේ. එම තරගාවලියෙන් මේ වසරේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරග කාලසටහන අවසන් වන අතර, එළැඹෙන 2026 ජනවාරියේදී එංගලන්ත පිල එක්දින ජාත්‍යන්තර තරග 3කට හා විස්සයි20 තරග 3කට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග නොමැති කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලිය සංචිධාන කොට එම තරගාවලිය ප්‍රමුඛ පෙළේ සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය කොට තිබේ. පළාත් කණ්ඩායම් 5ක් අතර පැවැත්වෙන මේ නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාල සීමාව තුළදී ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන අතළොස්සක් ක්‍රීඩකයන් හැර අනෙකුත් සියලු ක්‍රීඩකයන් සහභාගි විය යුතු වේ. යම් ක්‍රීඩකයකුට නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවීමට ඇති එකම හේතුව වන්නේ ආබාධයක් හේතුවෙන් වෛද්‍ය සහතිකයක් මත පමණි. මේ හේතුවෙන් දේශීය ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා දැකබලා ගැනීමේ අවස්ථා ඉදිරි කාලයේදී උදාවනු ඇත.

ප්‍රින්ස් ගුණ‍සේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here