14
රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් වසර 3කට පසු ගැටුම් සමථයකට පත් කරගැනීම සඳහා සෞදි අරාබියේ මැදිහත්වීමෙන් රියාද් නුවරදී අද සාකච්ඡා ආරම්භවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සාකච්ඡාවලට සහභාගිවීමට රුසියාවේ විදේශ ඇමැති සර්ජි ලැව්රොව් සහ විදේශ ප්‍රතිපත්ති උපදේශක යූරි උෂාකොව් සෞදි අරාබිය බලා පිටත්වීමට නියමිත බව රුසියාව තහවුරු කර ඇතැයි ද වාර්තා වේ. මේ සාකච්ඡා සඳහා අමෙරිකාව නියෝජනය කරමින් එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ රුසියාව සහ යුක්රේන යුද ගැටුම් පිළිබඳ අමෙරිකානු නියෝජිත කීත් කෙලොග් සහභාගිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර යුක්රේන යුද ගැටුම් සම්බන්ධව යුරෝපීය රාජ්‍ය නායකයන්ගේ හදිසි රැස්වීමක් පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිත අතර, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය සහ සෙසු යුරෝපා රටවල නායකයන් මේ සාකච්ඡාවට එක්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ. යුද ගැටුම් සමථයකට පත් කරගැනීම සඳහා අවශ්‍ය නම් සිය බ්‍රිතාන්‍ය සාම සාධක හමුදාවක් යුක්රේනයට යැවීමට හැකියාව ඇතැයි ඊයේ බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කර තිබේ.