Home World News Room : ජෙට් යානයක් උඩුයටිකුරු වෙයි – දිනමිණ

News Room : ජෙට් යානයක් උඩුයටිකුරු වෙයි – දිනමිණ

0
0

මගීන් 76 දෙනකු රැගෙන අමෙරිකාවේ සිට පැමිණි ජෙට් යානයක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමේදී ලිස්සාගොස් උඩුයටිකුරු වීමෙන් 18 දෙනකු තුවාල ලබා ඇති අතර, ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බරපතළ තුවාල ලැබූ අය අතර සිවු හැවිරිදි කුඩා දරුවකු ද සිටින බව වාර්තා වේ.

අමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් නුවර සිටි පැමිණ ඇති ඩෙල්ටා ගුවන්සේවයට අයත් එම ජෙට් යානය උඩුයටිකුරු වූයේ කෙසේදැයි ගුවන්තොටුපොළ බලධාරීන් පවා විස්මයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජෙට් යානය අනතුරට පත්වන මොහොතේදි ගුවන්තොටුපොළ අවට දැඩි හිමකුණාටු තත්ත්වයක් පැවැති බවත්, ධාවන පථය අඟල් 6කට වැඩි ඝන හිම තට්ටුවකින් වැසී තිබුණු බවත් ගුවන්තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, අනතුර සම්බන්ධව කඩිනමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

අනතුර සිදුවීමත් සමඟ ගුවන් යානයෙන් ගිනි ජාලාවක් ද මතුවී ඇති අතර, ධාවන පථය මත උඩුයටිකුරු වී මීටර් ගණනාවක් ඇදී ගිය ගුවන්යානය හිම මත සිරවි නතර වීමෙන් පසු ගුවන්තොටුපොළේ ගිනි නිවන ඒකකය වහාම එම ස්ථානයට පැමිණ ගින්න මැඬපැවැත්වීමටත්, සිය ආසන මත උඩුයටිකුරුව වවුලන් මෙන් එල්ලී සිටි සියලු මගීන් මුදා ගැනීමටත් සමත්වූ බව වාර්තා වේ.

ජෙට් යානයේ සිටි නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සිවුදෙනා ද ජීවිත බේරාගැනීමට සමත්වූ බව වාර්තා වේ. අනතුරින් පසු පියර්සන් ගුවන්තොටුපොළ බලා පැමිණෙමින් තිබූ සියලු ගුවන්යානා වෙනත් ගුවන්තොටුපොළ කරා යොමු කරවිමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර, පිටත්වීමට නියමිත ගුවන්යානා පැය කිහිපයක් ප්‍රමාද කළ බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here