Home Sport News Room : ශූරයන්ට රු. කෝටි 66ක් පිරිනැමෙන චැම්පියන්ස් කුසලාන තරගාවලිය අද...

News Room : ශූරයන්ට රු. කෝටි 66ක් පිරිනැමෙන චැම්පියන්ස් කුසලාන තරගාවලිය අද ඇරඹේ

0
0

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පාකිස්තානයේ නගර සරසා ඇති අයුරු.

 

ක්‍රිකට් යනු පාකිස්තානයේ තවත් එක් ක්‍රීඩාවක් පමණක් නොව, ඔවුන් එය සලකන්නේ ඔවුන්ගේ උරුමයක් ලෙසිනි. එය ඔවුන්ගේ බලවත් ආශාවයි. ක්‍රිකට් යනු පාකිස්තාන ජාතිය ගොඩනැඟීම සඳහා මෙවලමක් බව ඔවුහූ සිතති. කරච්චියේ ජනාකීර්ණ තේ ඩාබාවල සිට ලාහෝර්හි මංතීරු දක්වාත්, පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි සිට කඳුකරයෙන් වට වූ කුඩා ගම්මාන දක්වාත්, ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන මාතෘකාව වේ.

මෙවැනි වටපිටාවක් තුළ පාකිස්තානයේ අයිසීසී ක්‍රිකට් තරගාවලියක් අවසන් වරට සංවිධානය වූයේ 1996 වසරේදීය. එබැවින් වසර 29කට පසු පාකිස්තානයේදී ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව අද දින උදාවන අතර, ඒ සම්බන්ධ සැරසිලි ජනහදවත් තුළට නැවුම් බවක් එක්කොට තිබේ.

ආරක්ෂක ගැටලු සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රමයෙන් පාකිස්තානයෙන් අතුරුදන් විය.2009 දී ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය එම මිනී පෙට්ටියට ගැසූ අවසාන ඇණය විය. වසර දෙකකට පෙර ආසියානු කුසලානය සමඟ ජාත්‍යන්තර ඉසව්වක් පැවැත්වීය. දැන් චැම්පියන්ස් කුසලානයත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව පාකිස්තානයට පූර්ණ ලෙස පැමිණ තිබේ.

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහි පාකිස්තාන තරගයෙන් අද පස්වරු 2.30ට ආරම්භ වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චැම්පියන්ස් කුසලානය සඳහා ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කර ඇති අතර, ජයග්‍රාහකයන්ට පමණක් මාර්තු 9 දා ඔසවා ගන්නා කුසලානය ද සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 66ක) අතිවිශාල තෑගි මුදලක් හිමි වේ. අනුශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.12ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 33ක්) හිමිවන අතර, අවසන් පූර්ව වටයේ පරාජයට පත්වන සෑම කණ්ඩායමකටම අමෙරිකානු ඩොලර් 560,000ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 16ක) මුදලක් හිමිවේ.

පස්වැනි හෝ හයවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් 350,000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 10ක්) හිමිවන අතර, හත්වැනි සහ අටවැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් 140,000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4ක්) හිමිවේ. ඊට අමතරව තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් කණ්ඩායම් අටටම අමෙරිකානු ඩොලර් 125,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4) බැගින් හිමිවන බව අයිසීසීය නිවේදනය කළේය. මූලික වටයේ තරගයක් ජයගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 34,000ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1ක) මුදලක් හිමිවේ.

මෙවර මුළු ත්‍යාග සංචිතය අවසන් වරට පැවති 2017 සංස්කරණයේ මුළු ත්‍යාග මුදල වන අමෙරිකානු ඩොලර් මිලියන 4.5ට වඩා 53% කින් වැඩි කර ඇත.

කණ්ඩායම් අටක් හතර බැගින් කාණ්ඩ දෙකකට බෙදා පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දින 19ක් පුරා තරග 15ක් පැවැත්වේ. ඉන්දියාව අවසන් පූර්ව තරගය සහ අවසන් තරගය (සුදුසුකම් ලබා ගැනීමට යටත්ව) ඇතුළුව ඔවුන්ගේ සියලු තරග ඩුබායිහිදී ක්‍රීඩා කරනු ඇත.

‘ඒ’ කාණ්ඩයට බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ නවසීලන්තය ඇතුළත් වන අතර ‘බී’ කාණ්ඩයේ ඇෆ්ගනිස්තානය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සිටියි. 2017 වසරේ එංගලන්තයේදී අවසන් වරට ශූරතාව දිනා ගැනීමෙන් පසු සත්කාරක පාකිස්තානය වත්මන් ශූරයන් ලෙස තරග බිමට පිවිසේ.

මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ තරග ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරනු ඇත. තරගාවලියේ සජීව රූපවාහිනී විකාශන තොරතුරු ලොව පුරා විකාශය කෙරෙන අතර ඉන්දීය රසිකයන්ට පමණක් භාෂා 9 කින් තරග නැරඹීමට හැකි වේ.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here