14
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී තම ක්‍රීඩා සමාජය වූ එස්එස්සී පිලේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට පැමිණ තරගයකට ක්‍රීඩා කොට යළි එදිනම ඩුබායි බලා යෑම හේතුවෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10000ක දඩයක් ශ්‍රී ලංකා ක්‍රිකට් නියම කර ඇතැයි වාර්තා වේ.
මේ දඩය නියම කොට ඇත්තේ වෘත්තිමය ක්‍රීඩකයකු ලෙස නොදන්වා ශ්‍රී ලංකාවෙන් පිටතට යෑම වරදක් බවට තීරණය කිරීමෙනි. මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී දසුන් ශානකට වෙනත් කිසිඳු විනය විරෝධී චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් එල්ලකොට නොමැතිවීම විශේෂත්වයකි. කෙසේ වුවද දසුන් ශානකට ලබාදී ඇති දඬුවම් මුදල ගෙවීමට පාර්ශ්ව ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. දසුන් තම ක්‍රීඩා සමාජය වෙනුවෙන් යුතුකම් කොටස ඉටු කිරීමට ගොස් අමාරුවේ වැටුණ බව පවසා එම පාර්ශ්ව පෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.
කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ එස්එස්සී – මුවර්ස් අතර තරගය පසුගිය 2 වැනිදා නිමාවූ අතර ඒ වෙනුවෙන් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස එස්එස්සී ක්‍රිකට් ලේකම් අශාන් ද සිල්වා මහතා දසුන් ශානක වෙත ලිඛිත ඉල්ලීමක් කළ බව සඳහන් වේ. එම පණිවිඩය මඟින් දසුන් වෙත දැනුම්දී ඇත්තේ මෙවර අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී එස්එස්සී පිල පහළට වැටී ඇති කනගාටුදායක තත්ත්වය හේතුවෙන් ඩුබායි ෆ්‍රැන්චයිස් තරගාවලිය අතරතුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසය. එමෙන්ම මුවර්ස් සමඟ තරගය නිමාකොට යළි එදිනම ඩුබායි වෙත යෑමට එස්එස්සී පිලේ අවසරය හිමිවන බවද අශාන් ද සිල්වා මහතා දසුන් වෙත දැනුම්දී තිබිණි.
තම ක්‍රීඩා සමාජයේ ඉල්ලීම අනුව වහාම ශ්‍රී ලංකාවට පැමිණි දසුන් ශානක පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මුවර්ස් පිලට එරෙහි තුන්දින තරගයේදී පන්දු 87කදී හයේ පහර 8ක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 123ක් ලබාගත් අතර, එදිනම රාත්‍රියේ අබුඩාබි නයිට් රයිඩර්ස් පිලට එරෙහි විස්සයි20 තරගයේදී ඩුබායි කැපිටල්ස් වෙනුවෙන් පන්දු 12කදී හයේ 2ක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 34ක් ලබා සිය දක්ෂතා ප්‍රදර්ශනය කළේය. ඒ අනුව එක දවසක් තුළ රටවල් දෙකකදී හයේ පහර 10ක් හා හතරේ 14ක් සමඟ ලකුණු 157ක් ලබා ගැනීමට දසුන් ශානක සමත් වූවේය.
ප්‍රශ්නයට තුඩුදුන් මුවර්ස් සමඟ පැවැති තරගයේදී ‘ස්විප් පහරක්’ එල්ල කිරීමට යෑමේදී දසුන්ගේ බෙල්ලට පන්දුවක් වැදී ඇති අතර, ඒ අවස්ථාවේම කොළඹ රෝහලකදී ක්‍රීඩා වෛද්‍ය විශේෂඥ රුවන් ජයසූරිය මහතාට පෙන්වා යෝග්‍යතා සහතිකයක් ද ලබා ඇතැයි පැවසේ. ඩුබායි යෑමට පෙර ලබාගත් එම වෛද්‍ය සහතිකයේ සඳහන්වී ඇත්තේ බෙල්ලට වැදුණු පන්දුවෙන් සුළු විවේකයක් ලබා ක්‍රීඩා කිරීමට කිසිඳු බලපෑමක් නොමැති බවය.
මෙවැනි වටපිටාවක් තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දසුන් ශානක වෙත චෝදනා පත්‍රයක් යොමුකර තිබූ අතර, ඒ සඳහා කාලයක් ලබාදී තිබිණි. ඒ අතරතුරදී එස්එස්සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් එන්සීසී පිලට එරෙහි මූලික වටයේ අවසන් තරගයට ද දසුන් ශානක පසුගිය සති අන්තයේ එක්ව සිටියේය.
ප්‍රින්ස් ගුණසේකර