18
වසර 29කට පසු පාකිස්තානයේ ලෝක ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන හෙයින් චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන සෑම කණ්ඩායමකටම ලබාදී තිබෙන අති විශේෂ ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් සහ හමුදා කාර්ය මණ්ඩලය 12,000ක් යොදවා ඇත.
එම ආරක්ෂක නිලධාරීන්ට අමතරව, පාකිස්තානු ජාතික ගුවන් සේවය වන PIA විසින් සහභාගි වන ක්‍රිකට් කණ්ඩායම් සඳහා විශේෂ කුලී ගුවන් යානා යොදා ගමන් පහසුකම් සැලසීමට ද කටයුතු කර ඇත. සාමාන්‍ය මගීන් නොමැතිව තරගාවලිය පුරාම ක්‍රීඩකයන් සහ අනෙකුත් ඉහළ පෙළේ අමුත්තන්ගේ ආරක්ෂිත ගමන් පහසුකම් සහතික කිරීම සඳහා මේ ගුවන් ගමන් කරච්චි, ඉස්ලාමාබාද් සහ ලාහෝර් අතර අභ්‍යන්තර ගුවන් ගමන් ලෙස ක්‍රියාත්මක වේ. පාකිස්තානයේ ලාහෝර් සහ රාවල්පින්ඩි නගරවල මේ දිනවල ඉන්දියාව හැර රටවල් 7ක ප්‍රමුඛතම ක්‍රිකට් කණ්ඩායම් චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් රැඳී සිටින අතර, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 18ක්, පොලිස් අධිකාරීවරු 54ක්, පොලිස් පරීක්ෂකවරු 135ක්, විශේෂ බුද්ධි නිලධාරීන් 1,200ක්, කොස්තාපල්වරුන් 10,556ක් සහ කාන්තා පොලිස් නිලධාරීන් 200කට අධික සංඛ්‍යාවක් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇතැයි සඳහන් වේ. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ අතර එම පාකිස්තාන – නවසීලන්ත තරගය නැරඹීමට 30000කට අධික පිරිසක් එක්ව සිටියහ. තරගාවලිය ආරම්භ වීමටත් පෙර ක්‍රිකට් උණ පාකිස්තානය පුරා පැතිර ගොස් ඇති අතර, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව අංක එකට සැලසුම් කොට ඇත.
නරඹන්නන් ක්‍රීඩාංගණයට ඇතුළුවීමට පෙර
විශේෂයෙන් 2009 දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නවතා දැමුණු අතර, යළි ක්‍රිකට් ආරම්භ කිරීමේදී සංචාරක කණ්ඩායම් සඳහා පූර්ණ ආරක්ෂාව සහතික කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය විශේෂ අමතර පියවර ගත්තේය.
කෙසේ වෙතත්, ඉන්දියාව ඔවුන්ගේ තරග පාකිස්තානයේ ක්‍රීඩා නොකිරීම ගැන බොහෝ දෙනෙක් කලකිරීමට පත්ව සිටිති. ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, තරගාවලියේ වැඩිම ආකර්ෂණයක් ඇති ඉන්දියා – පාකිස්තාන තරගය තවත් දින තුනකින් ඩුබායිහිදී පැවැත්වේ. ඉන්දියාව සමඟ මූලික වටයේ සහභාගි වන තරග උදෙසා සියලු කණ්ඩායම් ඩුබායි වෙත ගොස් යළි අනෙක් කණ්ඩායම් සමඟ පැවැත්වෙන තරග සඳහා පාකිස්තානයට පැමිණිය යුතුව ඇත.
ප්‍රින්ස් ගුණසේකර