Home Politics News Room : අධිකරණයේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ගේ වාර්තාවක් කැඳවිය යුතුයි

News Room : අධිකරණයේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ගේ වාර්තාවක් කැඳවිය යුතුයි

0
0

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව නමැති සැකකරු ඝාතනය කෙරෙන අවස්ථාවේදී ඒ පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ කටයුතු පිළිබඳ වහාම වාර්තාවක් කැඳවිය යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා පවසයි.

එම නිලධාරීන් තම වගකීම් කොටස නිසි අයුරින් ඉටු කළේ ද යන්න රජය මඟින් මෙහිදී විමර්ශනය කළ යුතු බව ද ඒ මහතා කියයි.

නීතියේ ආදිපත්‍යය සුරැකීමට රජය බැඳී සිටින බවත් ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින බවත් පවසන නීතිඥ සේනක පෙරේරා මහතා පෙන්වා දෙන්නේ උසාවි භූමියට පැමිණෙන නීතිඥයන් පරීක්ෂා කිරීමෙන් පමණක් මෙම තර්ජන මර්දනය කළ නොහැකි බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී නීතිඥ සේනක පෙරේරා මහතා මෙසේද පැවසීය.

මේ රටේ අපරාධ ජාලය විනාශ කළහොත් පමණයි අප රට ඉදිරියට ගෙන යා හැකි වෙන්නේ. ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබිය යුතුයි. ගණේමුල්ලේ සංජීව නමැත්තා අපරාධකරුවකු ද, පාතාල සාමාජිකයකු ද යන්න නොවේ අපේ අවධානය යොමු වන්නේ. ඔහු අප කමිටුවට තවත් එක් රැඳවූවකු පමණයි. රැඳවූවකුගේ ආරක්ෂාව පිළිබඳවයි අප කමිටුව මෙහිදී විමසීමක් කරන්නේ. රැඳවූවකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වගකීමක් පැවරෙනවා. ඔහු ඉන් පිටතට රැගෙන ඒමේදීත් ඒ වගකීම එසේමයි. උසාවි භූමියක් තුළදී බන්ධනාගාර නිළධාරීන් මෙන්ම එම රුඳවූවාට ආරක්ෂාව දෙන පොලීසියට, පොලිස් විශේෂ කාර්ය බළකායටත් එම වගකීම ම පැවරෙනවා. රටේ යුක්තිය පසිඳලන ස්ථානයකදී රැඳවූවකුගේ ආරක්ෂාව මෙයට වඩා දැඩි විය යුතුයි.

පුද්ගලයකු අධිකරණයකින් වරදකරුවකු බවට නියම කරනතුරු ඔහු සැකකරුවකු පමණයි. මේ පුද්ගලයාට ජීවිත තර්ජන තිබෙන බවට මෙයට පෙර වාර්තා කර තිබුණා.

අයුධ සන්නද්ධ පුද්ගලයන්ට ඔක්සිජන් දුන් පාලකයන් මෙයට පෙර රජයන්හි සිටියා. අපට එය අමතක නෑ. එදා සිටි ඇතැම් දේශපාලනඥයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදවු දුන්නා. එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගත් පොලිස් නිලධාරීන්ව එදා පැවති රජයන් ඈත පළාත්වලට මාරු කර යැව්වා. මේ දේවල්වලට සම්බන්ධ අය අද ජාතික ආරක්ෂාව ගැන කතා කිරීම නම් විහිළුවක්. එදා ඔවුන් වැඩිදියුණු කළ විෂ අද සමාජයේ පැතිරෙමින් තවත් පවතිනවා.

මෙහිදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් මහතා ද අදහස් දැක්වීය.

බුද්ධිකා ඉඹුලාන, හෂිනි නවෝද්‍යා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here