13
රටේ ආර්ථිකය ගොඩදැමූ බවට ආණ්ඩුව ප්‍රකාශ කරන අතර මාස තුනකදී රටේ ආර්ථිකය ගොඩදැම්මේ කෙසේද යන්න දැන ගැනීමට කැමැති යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.
අය වැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන සම්මන්ත්‍රණ පවත්වන විට අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ අය වැයෙන් ගොඩගිය රටක් නැහැ කියලා. මාස තුනෙන් ආර්ථිකය ගොඩදැම්මා කියලා ආණ්ඩුව කියනවා. පසුගිය මාස තුනේදී ආර්ථිකය ස්ථාවර කළේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. රනිල් මහතා අමාරු අවස්ථාවක රට ගොඩදැම්මා. ඒ කළ දේවල් අපි කියන්නත් ඕන. මහ බැංකු අධිපතිවරයාත් රට ගොඩනැඟීම සඳහා කාර්යක් කළා. මුදල් ලේකම්වරයාත් අද සිටිනවා. මේ ආණ්ඩුව සහාය ගන්නේ එයාලගෙන්. ජේ.ආර්. ජයවර්ධන මහතා පවා නොකළ නිදහස් වෙළඳ කලාපවලට විදේශ රටවලින් පැමිණ ආයෝජනයට අවස්ථාව දෙනවා කියලා තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා ජේවීපී එකෙන් අයින්වෙලා ගොඩක් කල්. බොරු ජේවීපී එකක් තිබෙන්නේ. ලාල්කාන්ත, සමන්ත විද්‍යාරත්න මහත්වරු නම් තවම ජේවීපී. අනෙක් අය නම් ඒ පක්ෂයෙන් අයින්වෙලා. අනුර ජනාධිපතිවරයා ජේවීපී ද නැද්ද කියලා කියන්න. අධිකරණයේ සිදු වූ මිනී මැරුමට අභ්‍යන්තරයෙන් සහාය තිබුණා ද කියලා සැකයක් තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් වෙලා තිබෙනවා. එක් ඇමැතිවරයෙක් තමන්ගේ රියැදුරු මහතාට බූරුවා කියලා කතා කරනවා. අපි අහන්න කැමැතියි ඒ ඇමැතිවරයාගේ වාහනය පදවන්නේ බූරුවෙක්ද කියලා. මන්ත්‍රීවරුන්ගේ ජීවිතත් අවදානමට ලක්ව තිබෙනවා. ඒ ගැනත් මේ ආණ්ඩුව හිතන්න ඕන.