19
විශේෂ ගණයේ රැඳවියන්, සිටින බන්ධනාගාර තුළ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් ගෙන එන බවත්, එම සංශෝධනය සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
අපරාධ නඩු විධාන සංග්‍රහය සඳහා එම සංශෝධන ඇතුළත් කර මාර්තු, අප්‍රේල් මාසය වන විට හෝ සම්මත කිරීමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා පැවසීය.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ නව ප්‍රජාතන්ත්‍රාවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ මෙම සංශෝධන සම්මත කර ගැනීමෙන් පසුව විදෙස් රටක සිටින අයකුගෙන් වුවද සාක්ෂි ලබාගැනීමේ හැකියාව ලැබෙන බවයි. අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය තුළ ඇතිවූ සිද්ධිය වැනි සිදුවීම් වළක්වා ගැනීම සිදුකළ හැක්කේ එවන් වැඩපිළිවෙළක් යටතේම බවද ඇමැතිවරයා පැවසීය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
බන්ධනාගාර තුළ සේවකයින් 5218ක් සිටිනවා. ආයතන 31ක මෙම පිරිස සිටින්නේ. බන්ධනාගාර පද්ධතිය තුළ මේ වන විට රැඳවියන් 29000ක් සිටිනවා. මෙම පද්ධතිය තුළ රැඳවිය හැකි පිරිස මෙන් තුන් ගුණයක් මේ වන විට සිටිනවා. අධික තද බදයක් තිබෙනවා. රැඳවියන් සිටින වාට්ටු ප්‍රමාණවත් නැහැ. කොළඹ ආශ්‍රිතව මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඊයේ තිබුණු සිදුවීම අපි ආණ්ඩුවක් වශයෙන් ඉතාම ඕනෑකමකින් සහ බරපතළ කමකින් අපි ගන්නවා. ඒ ඇති වුණු තත්ත්වය. මේ සිද්ධිය සිදුවීමේදී උසාවිය තුළට ආයුධ සහිත නිලධාරීන් යන්නේ නැහැ. එතනදී තමයි මේ අනාරක්ෂිත සිද්ධිය උසාවිය තුළ සිදුවෙන්නේ. ඔහු නීතිඥවරයකු වශයෙන් වෙස් වළාගෙන ආපු තත්ත්වයකුත් තියෙනවා. අපි දැන් පොඩි කමිටුවක් පත් කරලා පොලිස්පතිතුමත්, බන්ධනාගාරත් අපි කල්පනා කරලා තියෙනවා සියලුම පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරලා ඔවුන්ගේ එකඟතාවය මත විශේෂ රැඳවියන්, විශේෂ අවස්ථාවල දී අධිකරණය තුළ ආම් ගාඩ් එකක් ඉන්න තත්ත්වයට ගේන්න අවශ්‍ය වෙනවා. ඊට අමතරව තම පරීක්ෂා කරගැනීමේ ක්‍රියාවලියක් ඕන වෙනවා.