මාස දෙකක් ඇතුළත ගෝලීය වශයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඩීප්සීක් කෘත්‍රිම බුද්ධි යෙදුම තාවකාලිකව තහනම් කිරීමට දකුණු කොරියානු රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන සමාගමක් විසින් නිර්මාණය කරනු ලැබූ එම කෘත්‍රිම බුද්ධි යෙදුම බාගත කිරීම් මින් ඉදිරියට තහනම් බවත්, රජයේ කිසිදු පරිගණකයකට එම යෙදුම බාගත නොකරන ලෙස සේවකයන්ට නියෝග කර ඇති බවත් දකුණු කොරියානු රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඒ අනුව එම යෙදුම දකුණු කොරියාවේ ඇපල් සහ ගූගල් ඔස්සේ බාගත කිරීම අත්හිටුවා ඇති අතර, එම යෙදුම එරට නීතියට අනුකූල බවට දකුණු කොරියාවේ අන්තර්ජාල නියාමන අධිකාරිය සහතික කරන තුරු තහනම ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අඩුම පිරිවැයකින් නිෂ්පාදනය කර ඇතැයි කියන ඩීප් සීක් යෙදුම මීට මාස දෙකකට පෙර ලොවට හඳුන්වා දුන් දිනයේ සිට ලොව වඩාත්ම බාගත කළ යෙදුම ලෙස ඉතිහාසයට එක්වී තිබේ. එහි සාර්ථකත්වයත් සමඟ අමෙරිකාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ වෙළෙඳපොළ දරුණු කඩා වැටීමකට ද ලක්වී තිබිණි.
The post දකුණු කොරියාවේ ‘ඩීප් සීක්’ තහනම් appeared first on දිනමිණ.