13
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු සුපිරි ක්‍රීඩකයන් ගැටෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය (International Masters League) ආරම්භ කරමින් සත්කාරක ඉන්දියාවට එරෙහිව පැවති පළමු තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණු 4කින් පරාජය වීමට කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට සිදු විය.
නවි මුම්බායිහි ඩී.වයි. පටෙල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුලු 4ක් දැවී ලකුණු 222ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 218ක් පමණි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් නායක කුමාර් සංගක්කාර පන්දු 30කින් වේගවත් ලකුණු 51ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟිනි. උපුල් තරංග ලකුණු 10කට දැවී යෑමෙන් පසු සංගක්කාර සමඟ එක්වූ ළහිරු තිරිමාන්න ලකුණු 61ක සබඳතාවක් ගොඩනැඟූ අතර, තිරිමාන්න ලකුණු 24කට දැවී ගියේය. ලකුණු 119කට කඩුලු 5ක් බිඳ වැටී තිබියදී පිටියේ එක්වූ අසේල ගුණරත්න සහ ජීවන් මෙන්ඩිස් 6 වැනි කඩුල්ලට පන්දු 28කින් ලකුණු 68ක් එක් කරමින් කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කළ අතර, මෙන්ඩිස් හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමින් පන්දු 17කින් ලකුණු 42ක් ලබා සිටියදී දැවී ගියේය. ගුණරත්න පන්දු 25කින් ලකුණු 37ක් රැස් කළ අතර, පන්දු 7කින් ලකුණු 23ක් රැස් කළ ඉසුරු උදාන සමඟ කඩුලු 3ක් පන්දු 6ක් තුළ ලකුණු 5කට බිඳ වැටීමෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අහිමි වී ගියේය. පන්දු යැවීමේදී ඉර්ෆාන් පතාන් කඩුලු 3ක්, ධාවල් කුල්කර්නී, අභිමන්යූ මිතුන් සහ විනයි කුමාර් කඩුලු 2 බැගින් දවා ගත්හ.
ඉන්දීය ආරම්භක පිතිකරුවන් වූ අම්බති රයිදු (5) සහ සචින් තෙන්ඩුල්කාර් (10) ලකුණු 26ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත් වූ අතර, ස්ටුවට් බිනී පන්දු 31කින් ලකුණු 68ක්, ගුකර්රත් සිං ලකුණු 44ක්, යුෆුස් පතාන් පන්දු 22කදී නොදැවී වේගවත් ලකුණු 56ක් සහ යුවරාජ් සිං නොදැවී ලකුණු 31ක් රැස් කරමින් ඉන්දීය පිල ලකුණු 222ක ඉදිරියට රැගෙන ගියහ.
සුරංග ලක්මාල්ට (2) අමතරව ඉසුරු උදාන සහ චතුරංග ද සිල්වා කඩුල්ල බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල ක්‍රීඩා කරන දෙවැනි තරගය දකුණු අප්‍රිකානු මාස්ටර්ස් පිලට එරෙහිව අනිද්දා (26) මුම්බායිහිදීම පැවැත්වේ.
ඉන්දියන් මාස්ටර්ස් – 222/4 (ඕවර 20) ස්ටුවට් බිනී 68, යුෆුස් පතාන් 56, ගුකර්රත් සිං 44, යුවරාජ් සිං නොදැවී 31 (සුරංග ලක්මාල් 34/2)
ශ්‍රී ලංකා මාස්ටර්ස් – 218/9 (ඕවර 20) කුමාර් සංගක්කාර 51, ජීවන් මෙන්ඩිස් 42, අසේල ගුණරත්න 37, ළහිරු තිරිමාන්න 24, ඉසුරු උදාන 23 (ඉර්ෆාන් පතාන් 39/3, ධාවල් කුල්කර්නී 34/2, අභිමන්යූ මිතුන් 41/2, විනයි කුමාර් 53/2)
නිරෝෂාන් ප්‍රියංකර