9
ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය සංවිධාන කරන ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනයේ තෙවැනි පෙළ තත්ත්වයෙන් යුත් ජාතික රයිෆල් ශූරතාවලිය ලබන මාර්තු මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා පූනෑව නාවික වෙඩි පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව දෙස් – විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 216කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලිය ජාත්‍යන්තර රයිෆල් ක්‍රීඩා දිනපොතට අයත් ප්‍රමිතිගත තරගාවලියක් ලෙස සංවිධානය වීම විශේෂත්වයකි.
මේ ජාතික රයිෆල් ශූරතාවලිය වසර 6කට පසු සංවිධාන වන අතර, අවසන් වරට 2019දී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වැඩි ගෞරව හිමිකර ගත්හ.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වෙඩික්කරුවන්ට අමතරව ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයට අනුබද්ධිත දිවයින පුරා වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ 12ක් ඇති අතර, ක්‍රීඩිකාවන් 23ක්, වයස 14ට අඩු ක්‍රීඩකයන් 2ක්, වයස 14 – 18 අතර ක්‍රීඩකයන් 8ක්, වයස 50ට වැඩි ක්‍රීඩකයන් 39ක්, වයස 60ට වැඩි ක්‍රීඩකයන් 11ක් හා වයස 70ට වැඩි ක්‍රීඩකයෙක් ඇතුළු කණ්ඩායම් 36ක් සාමාන්‍ය, ජ්‍යෙෂ්ඨ සහ සුපිරි ජ්‍යෙෂ්ඨ යන කාණ්ඩ යටතේ තරගාවලියට සහභාගි වෙති.
පිලිපීනයේ අතිදක්ෂ වෙඩික්කරුවන් තිදෙනකු මේ වන විටත් තම සහභාගිත්වය තහවුරු කර ඇති බව ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති රියර් අද්මිරාල් මංජුල දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කෙරිණි. මේ තරගාවලිය සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් උපයෝගී කරගන්නා හෙයින් ක්‍රීඩා අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශයට අමතරව සංචාරක අමාත්‍යාංශයේද අනුමැතිය හිමිව තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි පොලිසියේ පරිහරණයෙන් ඉවත දමන ලද අර්ධ ස්වයංක්‍රීය රයිෆල් අවි 450ක් පමණ මේ ක්‍රීඩාව සඳහා යොදාගෙන ඇති අතර, ඒවා සියල්ල ක්‍රීඩාවේ විනය ආරක්ෂා කරගනිමින් භාවිත කරන බව ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපතිවරයා පැවසීය.
“රයිෆල් සංගමයේ නීති රීතිවලට අනුකූලව ක්‍රියාත්මක වන පොලිසියේ හා හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ක්‍රීඩා සමාජ 12ක් රයිෆල් ක්‍රීඩාවේ නිරත වෙනවා. ඒවා ක්‍රීඩා අමාත්‍යාංශයේ රෙගුලාසි හා ආරක්ෂක අමාත්‍යාංශයේ විධිවිධානවලට යටත්. අද වනතුරු කිසිදු විනය විරෝධී ක්‍රියාවක් රයිෆල් ක්‍රීඩාවේ වාර්තා වී නෑ” රියර් අද්මිරාල් මංජුල දිසානායක මහතා පැවසීය.
රයිෆල් ක්‍රීඩාවේ ඇති ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකොට අඩුම කාලයකදී වැඩිම ලකුණු ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වටිනා කුසලාන, තෑගි හා සහතික පත් පිරිනමන බව තරගාවලි නීතිරීති හඳුන්වා දුන් හිටපු වෙඩි තැබීමේ ශූර විශ්‍රාමික යුද හමුදා කර්නල් ජනක රිටිගහපොල මහතා පැවසීය.
මේ මාධ්‍ය හමුවට ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජිත මේනක ලියනගේ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ප්‍රින්ස් ගුණසේකර