Home Politics News Room : සෞඛ්‍ය සේවයේ පඩි වැඩි වෙන්නේ මෙහෙමයි

News Room : සෞඛ්‍ය සේවයේ පඩි වැඩි වෙන්නේ මෙහෙමයි

0
0

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ වෙන කිසිදු ආයතනයක් හෝ පුද්ගලයකු බිය විය යුතු නැති බවත්, ලබන වැටුපට වඩා වැඩි වැටුපක් සෑම රාජ්‍ය සේවකයකු ම අප්‍රේල් මාසයේදී ගෙදර ගෙන යන බවට සහතික වන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) අවධාරණය කළේය.

නොදැනුවත්කම නිසා හෝ වැරදි වැටහීම් මත වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වැරදි ලෙස විග්‍රහ කරමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලබන 27දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දී ඇති බවත් පරිපූරක වෛද්‍ය සේවයේ නිලධාරීන් සමඟ ඊයේ (24) දින විෂය භාර ඇමැතිවරයා ලෙස තමන් සාකච්ඡා කළ බවත් කී ඇමැතිවරයා මූලික වැටුප් වැඩිවීම අදියර තුනකින් සිදුවුවද අතිකාල සේවය, අතිරේක සේවය, දෛනික දීමනා ඇතුළු සියලුම දීමනා වැඩි වන්නේ 2027 වසරේදී සම්පූර්ණ මූලික වැටුප් වැඩිවීමේ සමස්ත මුදලට අදාළව බවත් ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ සමස්ත වැටුප් වැඩිවීම සඳහා බිලියන 325ක් යෙදවීමට සිදුවන අතර, රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් මෙම වසරේදී රුපියල් බිලියන 110ක් වෙන්කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේ 2025 වසර සඳහා වන අය-වැය විවාදය සඳහා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා

සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩිවෙන්නේ අදියර තුනකින්. ඒ කියන්නේ වැටුප් වැඩිවීම සම්පූර්ණ වන්නේ 2027 ජනවාරි මාසයේ සිටයි. ඒ කියන්නේ මේ වසරේදී කොටසක්, ලබන වසරේදී කොටසක් හා ඊළඟ වසරේදී කොටසක් වශයෙන්. ඒ වුණත් අප්‍රියෙල් මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ දීමනා සියල්ල ගණනය කෙරෙන්නේ 2027 ජනවාරි මාසයේදී වැඩි වීමට නියමිත වැටුප අනුවයි. ඒ වගේම අතිකාල හා දෛනික දීමනා සම්බන්ධයෙන් ඇතැම් අය කතා කරනවා. අතුරු වෛද්‍ය සේවාවේ මෙතෙක් රුපියල් 198ක් වූ අතිකාල පැයක් සඳහා වන ගෙවීම රුපියල් 267 දක්වා ද පරිපූරක වෛද්‍ය සේවාවේ අතිකාල පැයකට ගෙවූ රුපියල් 201ක මුදල රුපියල් 271 දක්වා ද හෙද සේවයේ අතිකාල සඳහා පැයකට ගෙවූ රුපියල් 203 රුපියල් 275 දක්වා ද වැඩි කෙරෙනවා. ඒ වගේම වෛද්‍ය වෘත්තිකයන් සඳහා අතිකාල පැයකට ගෙවූ රුපියල් 679ක මුදල රුපියල් 765 දක්වා වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි අතුරු වෛද්‍ය සේවා සඳහා ගෙවූ දෛනික දීමනාව (Days pay allowance) රුපියල් 1582 සිට රුපියල් 1777 දක්වා වැඩි වෙනවා. පරිපූරක වෛද්‍ය සේවාවේ දෛනික දීමනාව රුපියල් 1604 සිට රුපියල් 1804 දක්වාත් හෙද සේවාවේ දෛනික දීමනාව රපියල් 1626 සිට රුපියල් 1832 දක්වාත් වෛද්‍යවරුන්ගේ දෛනික දීමනාව රුපියල් 2715 සිට රුපියල් 3058 දක්වාත් වැඩි වෙනවා. ඩේස් පේ එලවන්ස් එක. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ කැපවීම නිසා තමයි සෞඛ්‍ය සේවය මේ තත්ත්වයේ තිබෙන්නෙ. ඔවුන්ගේ වැටුප් ඉතාම ඉහළින් වැඩි වෙලා තියනවා.

අතුරු වෛද්‍ය සේවයේ MT 6 වැටුප් තලයේ III වන පන්තියට තිබුණේ මූලික වැටුප රුපියල් 32080යි. ඒක රුපියල් 54120 දක්වා වැඩි වෙනවා. තිබුණ වැටුප අනුව ඒ අයගේ දළ වැටුප රුපියල් 1,03,480ක් ලැබෙනවා. මේ කියන්නේ අතුරු වෛද්‍ය සේවයේ 111 වැනි ශ්‍රේණිය. මේ වැටුප් වැඩිවීමත් එක්ක ඒ අයගේ වැටුප 1,32,40 දක්වා වැඩි වෙනවා. මූලික වැටුප විතරක් රුපියල් 22,040ක වැඩිවීමක්. දළ වැටුපේ රුපියල් 28,560ක වැඩිවීමක්.

MT 7 වැටුප් තලයේ සිටින III වන ශ්‍රේණියේ හෙදියකට. එයාගේ මූලික වැටුප තිබෙන්නේ රුපියල් 32,525යි. ඒක 54,920 දක්වා වැඩි වෙනවා. එයාගේ දළ වැටුප තිබ්බේ රුපියල් 1,04,481යි. ඒ මුදල රුපියල් 1,33,640 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ මූලික වැටුප විතරක් රුපියල් 22,395කින් සහ දළ වැටුප රුපියල් 29,159කින් වැඩි වෙනවා.

සාමාන්‍ය වෛද්‍යවරයකුගේ දැන් තියෙන මූලික වැටුප 54,290යි. ඒ මූලික වැටුප 94,150 දක්වා වැඩි වෙනවා. එයාගේ දළ වැටුප දැන් හම්බවෙන්නේ රුපියල් 2,32,635 යි. ඒ මුදල 2,77,800 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ මූලික වැටුප් වැඩිවීම විතරක් රුපියල් 39,860යි. දළ වැටුප වැඩිවීම රුපියල් 45,075යි. ඒ නිසා කාටවත් කියන්න බෑ වැටුප් වැඩිවුණේ නෑ කියලා. වැටුප් ඉහළින්ම වැඩි වෙලා තියනවා.

අතිකාල ඇතුළු දීමනා හැදෙන හැටි. මේකත් එක්ක එනවා මූලික වැටුපට අදාළව අතිරේක සේවය, අතිකාල සේවය, ආදී දීමනා සකස් කිරීම සම්බන්ධයෙන් යම් සැකයක් මතු කරලා තියනවා. එතකොට මම කියන්න කැමතියි ආණ්ඩුව තීන්දුවක් ගත්තා මූලික වැටුප් වැඩි කිරීමට. ඒ වැටුප් වැඩි වෙන්නේ මේ තියන ආර්ථිකය, භාණ්ඩාගාරයේ තත්ත්වය අනුව අදියර තුනකින්. මේ අප්‍රේල් මාසෙදි එක අදියරක් තියනවා. 2026 ජනවාරිවල දෙවැනි අදියර. 2027 ජනවාරිවල තුන්වන අදියර.

එතකොට 2027 ජනවාරිවල තමයි මූලික වැටුප් වැඩිවීම සම්පූර්ණ වෙන්නේ. හැබැයි 2027 ජනවාරිවල සිදුවන මූලික වැටුප් වැඩිවීමට අදාළව තමයි මේ අප්‍රේල් මාසේ ඉඳන් දීමනා ගණන් හැදෙන්නේ. අතිරේක සේවය, අතිකාල සේවය, පීඑච් එක දෛනික දීමනාව වගේ දීමනා. මේ සියල්ලම ගණන් හැදෙන්නේ 2027 ජනවාරිවල තුන්වන අදියරේ වැටුපට එකතුවන එකත් එක්ක මිසක් අප්‍රේල් මාසයට වැඩිවන කොටසට අදාළව නෙමෙයි. මේවා හැම ආණ්ඩුවක්ම කරපු දේවල් නෙමෙයි. අපි බොහොම පැහැදිලිව ඒ වැටුප් වැඩිවීම ලබා දීලා තියනවා. සමස්ත මූලික වැටුපෙන් තමයි සියලුම දීමනා සකස් කරන්නේ.

ඒ අනුව ගත්තාම අතුරු වෛද්‍ය ‍ සේවාවේ ඉන්න කෙනෙකුට දැනට අතිකාල ලෙස පැයකට ලැබෙන රුපියල් 198යි. එය රුපියල් 267 දක්වා වැඩි වෙනවා. පරිපූරක වෛද්‍ය සේවාවේ ඉන්න කෙනෙකුට පැයකට ලැබෙන අතිකාල මුදල රුපියල් 201 ඉඳන් රුපියල් 271 දක්වා වැඩි වෙනවා. හෙද නිලධාරියෙකුට දැන් පැයකට ලැබෙන රුපියල් 203 රුපියල් 275 දක්වා වැඩි වෙනවා. වෛද්‍ය නිලධාරියෙකුට දැන් ලැබෙන රුපියල් 679 රුපියල් 765 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ අයට ලැබෙන ඕටී එක හරි අතිරේක සේවය හරි පැයකටත් වැඩිවෙලා තියෙන්නේ.

ඊළඟට දෛනික දීමනාවේ වැඩිවීම මෙහෙමයි. දැන් අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ පැයකට ලැබෙන රුපියල් 1582 රුපියල් 1777 වෙනකම් වැඩි වෙනවා. පරිපූරක වෘත්තිකයින්ගේ දැන් ලැබෙන රුපියල් 1604 රුපියල් 1804 වෙනකම් පැයකට වැඩි වෙනවා. හෙද නිලධාරියෙකුගේ දැන් ලැබෙන රුපියල් 1626 රුපියල් 1831ක් වෙනවා. වෛද්‍ය නිලධාරියෙකුට දැන් ලැබෙන රුපියල් 2715 රුපියල් 3058 වෙනකම් වැඩි වෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ඒ සාකච්ඡා ලබාදීලා තියනවා මේ 27 හවස 5ට ජනාධිපතිතුමා එක්ක. අතුරු වෛද්‍යවරු එක්ක අද දවල් 12ට සාකච්ඡා කරනවා. කවුරුහරි කියන්න හදනවා නම් ඒගොල්ලන්ට ගෙදර ගෙනියන වැටුප අඩු වෙලා කියලා ඒක පට්ටපල් බොරුවක්. මූලික වැටුපත් වැඩි වෙලා තියනවා. මූලික වැටුප ගණන් හදන්නේ 2027 ජනවාරිවල ලැබෙන වැටුපට අදාළව නිසා මේ අප්‍රේල් මාසේ ඉඳලා අතිරේක සේවය, අතිකාල සේවය සහ පී.එච් එක දෛනික දීමනාව ආදී සියලු දේ වැඩි වෙනවා.

ඒ වගේම මේ සැම කෙනාගෙම වැටුප් වර්ධකය සියයට 80කින් වැඩි වෙනවා. මම මේ කියන්නේ ඇවරේජ් එක. වැටුප් කැටගරි එකිනෙකාගේ වෙනස් නිසා. මාණ්ඩලික තත්ත්වය වෙනස් වෙනවද? එපමණක් නෙමෙයි… දැන් මේ තව තැනක හදනවා මෙහෙම කතාවක්. අතිරේක සේවයේ සහ අතිකාල සේවයේ වෙනසක් කළාම ඒ අයගේ මාණ්ඩලික තත්ත්වය වෙනස් වෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ නෑ. කෙනෙක් මාණ්ඩලිකද නැද්ද කියලා තීරණය කරන්නේ ඒ ලැබෙන හැටෙන් එක හරි දෙසීයෙන් එක හරි අසූවෙන් එක හරි එකසිය විස්සෙන් එක මත නෙමෙයි. ඒ නිසා මාණ්ඩලික තත්ත්වයෙන් කවුරුහරි වෙනස් වෙනවා කියලා කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. එහෙම වෙන්නේ නෑ. රාජ්‍ය පරිපාලන ඇමතිතුමා ඒකට සහතික වේවි. අපි ඒක හොයලා බැලුවා. එහෙම කිසිම දෙයක් වෙන්නෙ නෑ. මාණ්ඩලික තත්ත්වයෙ ඉන්න අය මාණ්ඩලික තත්ත්වයේ ඉන්නවා. ඒකට මේ සංශෝධනය අදාළ වෙන්නේ නෑ.

වසර 10න් දහය උසස්වීම් සෞඛ්‍ය සේවයට අදාළ නෑ. තව කියන දෙයක් තමයි අවුරුදු 10න් දහයට උසස්වීම් සම්බන්ධව මේකේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියනවා. දැනට හෙද සේවයට හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයට ඒක අදාළ වෙන්නේ නෑ. ඒ අයට අවුරුදු 5න් සහ 7න් ලැබුණ උසස්වීම් ඒ විදිහටම ලැබෙනවා. එපමණක් නෙමෙයි… මම කියන්න කැමතියි… සමහර කළේ රනිල් වික්‍රමසිංහ ළඟ ඉඳලා මන්ත්‍රීකම් අරන් දවස් හතක් මන්ත්‍රීකම කරලා පර්මිට් එක ගත්තු, මන්ත්‍රීකම නැති වුණාම අධ්‍යක්ෂ ජනරාල් වෙච්චි සමහර අය පට්ටපල් බොරු කියාගෙන යනවා මාධ්‍යවලට මේ වැටුප් වැඩිවීම අවුරුදු තුනකින් ලැබෙනවා කියලා.

පළමු වැටුප් වැඩිවීම අප්‍රේල්වල ලැබෙනවා. දෙවැනි වැටුප් වැඩිවීම මාස 08කින්. 2027 ජනවාරිවල ඊළඟ අවුරුද්දේ වැටුප වැඩි වෙනවා. මාස 20ක් යනකොට මූලික වැටුප් වැඩිවීම සම්පූර්ණ වෙනවා.

බිලියන 110ක් වෙන් කරලා මේ වැටුප් වැඩිවීම ලබා දීලා තියෙන්නේ. අපට අවශ්‍යයි රාජ්‍ය සේවයේ වැඩි මැදිහත්වීමක්. පට්ටපල් බොරුවලට කවුරුත් රැවටෙන්න ඕන නෑ. සෞඛ්‍ය සේවයේ වැටුප් දැනෙන්න වැඩි කරලා තියෙන්නේ මෙහෙමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here