Home Sport News Room : ඔලිම්පික් හා ආසියානු ක්‍රීඩා ඉලක්ක කොට ජාතික ක්‍රීඩා සංචිත...

News Room : ඔලිම්පික් හා ආසියානු ක්‍රීඩා ඉලක්ක කොට ජාතික ක්‍රීඩා සංචිත ලබන මාසයේ ඇරඹේ

0
0

ජාතික ඉහළ කාර්ය සාධන වැඩසටහන යටතේ, ජාතික ක්‍රීඩා සංචිත ලබන මාසයේ සිට ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වේ. ජාතික සංචිත එකම ස්ථානයකදී ක්‍රියාවට නැංවීම අපේක්ෂා කරන බවත් දියගම ක්‍රීඩා සංකීර්ණය ඒ සඳහා හොඳම විකල්පයක් බව ක්‍රීඩා නි‍යෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා පැවසීය. දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ අවශ්‍ය භූමි ප්‍රමාණය ඇති හෙයින් ජාතික සංචිත පැවැත්වීමට ඇති හොඳම ස්ථානය එය බව හෙතෙම පෙන්වා දුන්නේය.

“වසර 2028 හා 2032 ඔලිම්පික් උලෙළ ඉලක්ක කොට අපි සැලසුම් සකස් කර තිබෙනවා. ඔලිම්පික් හා ආසියානු ක්‍රීඩා දෙකම වෙනුවෙන් පුහුණු සංචිත ලබන මාසයේදී ආරම්භ කරනවා. ඒ වගේම දෙවැනි පෙළක් නිර්මාණය කිරීමට සංවර්ධන සංචිතයක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කොට තිබෙනවා. ක්‍රීඩා ශක්ති වැඩසටහන නිවැරදිව ක්‍රියාවට නංවා ක්‍රීඩාවට අවශ්‍ය දක්ෂ දරුවන් සොයාගත යුතුයි. ක්‍රීඩාව තුළින් රටට ජයග්‍රහණ ගෙන ඒම වගේම සියලු පුරවැසියන් සම්බන්ධ කර ගැනීම අපේක්ෂාවයි. ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැඟීම හා සංචාරක ව්‍යාපාරය සමඟ සම්බන්ධවෙමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රීඩාව ඉදිරියට ගැනීම අපේ සැලසුමයි” තිලකරත්න මහතා පැවසීය.

“සුගතදාස ක්‍රීඩාංගණ ධාවන පථය සකස් කරගන්න අවශ්‍යයි. ධාවන පථය ඉතා ඉක්මනින් විනාශ වෙමින් යනවා. රටට ගැළපෙන හා ක්‍රීඩක දක්ෂතා ඉදිරියට ගන්න හොඳ ධාවන පථයක් සකස් කිරීමට අප සූදානම්” ක්‍රීඩා නි‍යෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

අවසන් වරට පසුගිය වසරේ පැවති ඉහළ කාර්ය සාධන වැඩසටහන යටතේ, ක්‍රීඩා 12කින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58ක් තෝරාගෙන සංචිත පවත්වාගෙන ගිය අතර, එය ‘පැරිස් ඔලිම්පික්’ උලෙළ ඉලක්ක කොට ක්‍රියාත්මක විය.

ඉහළ දක්ෂතා පුහුණු සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසික මුදල් දීමනාවක් පිරිනැමෙන අතර, ආහාර හා විටමින් වර්ග ඇතුළු අවශ්‍යතා ද සම්පූර්ණ කෙරේ. එම අති දක්ෂ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවක් ක්‍රීඩා සංගම්වලින්, ක්‍රීඩා අමාත්‍යාංශය ලබාගෙන එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා විශ්ලේෂණයෙන් පසු ප්‍රධාන කාණ්ඩ 4කට වෙන්කොට ඉහළ දක්ෂතා පුහුණු සංචිතය පවත්වා ගනු ඇත.

මෙතෙක් පළමු කණ්ඩයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂය බැගින් ද දෙවැනි කණ්ඩයේ අයට මාසිකව රුපියල් 75000 බැගින් ද තෙවැනි කාණ්ඩයට මාසිකව රුපියල් 50000 බැගින් හා සිවුවැනි කාණ්ඩයට මාසිකව රුපියල් 25000 බැගින් ද වැය කිරීමට ක්‍රියා කළේය. ඉහළ දක්ෂතා පුහුණු සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ වරින් වර සොයා බලන අතර දක්ෂතා අඩු වුවහොත් එයට හේතු සොයා දක්ෂතා වැඩි කිරීමේ ක්‍රමවේද සකස් කිරීමට ද වැඩපිළිවෙළක් සකස් කොට ඇත.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here