19
ශ්‍රී ලන්කන් ගුවන්සේවය සතු යානා තුනක් වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන තිබියදීත් ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තවදුරටත් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.
ශ්‍රීලන්කන් ගුවන්සේවය සතුව ඇති සමස්ත ගුවන්යානා සංඛ්‍යාව 22ක් වන අතර මේ වන විට ප්‍රධාන ගුවන්සේවයට අදාළව සේවකයින් 3,194ක් සහ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවකයින් 2,862ක් සේවය කරනවා.
ශ්‍රීලංකන් ගුවන්සේවයේ මෙහෙයුම් ශක්තිමත් කර ගනිමින් තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමට 2025-2030 කාලය අතර පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ගුවන්සේවයේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරනවා.
ගුවන්සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 මෙම වසරේ සිට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන මුදල් අමාත්‍යාංශය විසින් විමර්ශනය කරමින් සිටිනවා.
ඒ අනුව ගුවන්සේවය මෙහෙයුම් ලාභදායීතාවය හා රජයේ සහයෝගිතාවය මෙම වසර පහ තුළ අපේක්ෂා කරනවා.
මෙම සියලු කටයුතු කළමනාකරණයෙන් කිරීම හරහා ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ණය බර ජනතාව මත ඉදිරියේදී පැටවෙනු නොවනු ඇති බවට විශ්වාස කරනවා.
ශ්‍රීලන්කන් ගුවන්සේවය සතු ගුවන්යානා සංඛ්‍යාව 22ක් තියෙනවා. නමුත් ඒකෙන් යාන 03ක් වසර ගණනාවක් තිස්සේ පාවිච්චියට නොගෙන තිබියදී ඒවාට අවශ්‍ය වාරික ගෙවමින් තිබිලා තියෙනවා. මසකට ඩොලර් ලක්ෂ 09කට ආසන්න ප්‍රමාණයක්. දැනට මෙම ආයතනයේ සේවක සංඛ්‍යාව ගත්තම ප්‍රධාන ගුවන්සේවයට අදාළව සේවක සංඛ්‍යාව 3,194ක් සහ ඊට අදාළ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවක සංඛ්‍යාව 2862ක් ඉන්නවා. ඒ විදියට එකතුව 6,056ක් ඉන්නවා. මේ තත්ත්වය තුළ ආයතනය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග අතර මෙහෙයුම් ශක්තිමත් කරමින් තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ගුවන්සේවය 2025-26 මූල්‍ය වර්ෂයේ සිට 2029-30 මූල්‍ය වර්ෂය දක්වා වන කාලසීමාව සඳහා පංච වාර්ෂික සැලැස්මක් සූදානම් කරලා තියෙනවා.
ඒ අනුව ගුවන්සේවය ප්‍රධාන කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරනවා. එකක් තමයි මෙහෙයුම් ලාභදායීත්වය සහ රජයේ සහයෝගීත්වය අවශ්‍ය වෙනවා. ශුද්ධ ලාභයට එල්ල වන ප්‍රධානම අභියෝගය වෙන්නේ අතීතයේදී ලබාගෙන තිබෙන ණය පියවීම සහ ගුවන්යානා කල්බදු පදනම මත ලබා දී ඇති සමාගම්වලට, එන්ජින් අලුත්වැඩියා කරන සමාගම්වලට දිය යුතු මුදල් දීමට නොහැකිභාවය. මෙම අභියෝගය ජය ගැනීමට අවශ්‍ය කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළක් සූදානම් කර ගැනීමටත් අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමටත් අමාත්‍යාංශය මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා. මේ තුළින් මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීම සඳහා ගුවන්සේවයේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම ඊට ඇතුළත් වෙනවා. ඒ වගේම ගුවන්යානා සංඛ්‍යාව වැඩි කර ගැනීම, ආදායම් වර්ධනය කරවා ගැනීමට කටයුතු කරනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා –
ශ්‍රීලන්කන් එයාර්ලයින් එකේ ණය බර රජය භාරගෙන තිබෙනවා. පසුගිය මාස කිහිපයකට බිලියන 2ක් පාඩුයි කියලා වාර්තා වුණා. ඉතින් මේ සියල්ලම පවර ගත්තම රජය ඒ මුදල් පියව ගන්නේ කොහොමද? ගුවන්යානා භාවිත කරන අයටම ඉන්ධනවලට වගේ ටිකට්වලින් අය කරනවාද? නැතිනම් සමස්තාය ලෙස රජයේ භාණ්ඩාගාරයට දාලා සම්පූර්ණ වක්‍ර බදු මුදල්වලින් අය කරගන්නවාද?
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම –
ජාත්‍යන්තරයේ දූෂණවලට මේ ආයතනය සම්බන්ධ වෙලා තියෙනවා. ජාත්‍යන්තර අධිකරණයේ තියෙනවා ගුවන්යානා ගැනීම සම්බන්ධයෙන් නඩු. ඒවා තවමත් ඇහෙනවා. එයාර්ලයින් එකට ප්ලේන් ගන්නකොට මාකට් එකේ තියෙන රේට් එකට වඩා අතිශය වැඩි මුදලකට තමයි ලීසිංවලට ප්ලේන් අරන් තියෙන්නේ. වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ යටතේ 2025 – 2030 දක්වා පස් අවුරුදු සැලැස්ම තුළ කටයුතු කරනවා. මේ සියල්ල කළමනාකරණය තුළ ඉදිරියේදී රටේ ජනතාවට මේ බර පටවන්න නොවෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.