13
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයන් හුරුකිරීමේ පරමාර්ථය ඇතිව මෙරට ප්‍රධාන පෙළේ පාසල්වල වාර්ෂිකව පවත්වනු ලබන දින දෙකේ ‘බිග් මැච්’ හෙවත් පාසල් මහා ක්‍රිකට් තරග 28ක් දින තුනේ තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය දායකත්වය ලබා දෙයි.
එම තරගවලට එක්ව සිටින පාසල් 56ක් සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන අතර, මෙම ‘බිග් මැච්’ හරහා ජාතික ක්‍රිකට් පිලට දායාද වන ක්‍රීඩකයන්ට පාසල් කාලයේදීම දරා ගැනීමේ ශක්තිය ඇති කිරීම මෙමඟින් අරමුණු කෙරේ. දීර්ඝවන අමතර තෙවැනි දිනය වෙනුවෙන් පාසල්වලට රුපියල් මිලියන 125ක් පිරිනැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ දින තුනේ ක්‍රිකට් තරග රටාවේ වැදගත්කම පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය.
මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවති පාසල් මහා ක්‍රිකට් තරග සම්ප්‍රදාය අනුව වසර 100ක් සම්පූර්ණ වූ පසු එම තරග තෙදින තරගයක් ලෙස ක්‍රියාත්මක වුවද, මේ වසරේ සිට එම සම්ප්‍රදාය වෙනස්වී උතුරු – නැඟෙනහිර ඇතුළු සියලු පළාත්වල ප්‍රධානපෙළේ තරග තෙදින තරග බවට පත් වේ.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා පැවසුවේ අවුරුදු 13, 15, 17 සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ වසරකට වැඩිම තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංචිධානය කරන බවය.
“පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ, දෙවැනි පෙළ සහ තෙවැනි පෙළ යන කාණ්ඩ 3 යටතේ වසරක් තුළ පාසල් තරග 6800ක් පමණ සංවිධාන වෙනවා. මේ තුළින් ජාතික තලයට ක්‍රීඩකයන් බිහි කිරීම අපේ වැඩපිළිවෙළයි. තෙදින පාසල් ක්‍රිකට් රටාව අනුව අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු සහ දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටයේ සිට අවසන් මහ තරගය දක්වා තුන් දින තරග ලෙසින් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සැලසුම් කොට තිබෙනවා” තිලක් වත්තුහේවා මහතා පැවසීය.
ජාතික තලයට ක්‍රීඩකයන් යොමු කිරීමේදී තුන්දින ක්‍රිකට් රටාව වැදගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ කළමනාකරු රුවන් කල්පගේ මහතා පැවසීය. “ක්‍රීඩකයකු තීරණ ගැනීමේදී හා අභියෝගවලට මුහුණදීමේදී දක්වන කුසලතා හා ආකල්ප වැදගත් වෙනවා. මේ තරග රටාවෙන් ක්‍රීඩකයකුට අවශ්‍ය බොහෝ මූලික දේ හඳුනාගත හැකියි” කල්පගේ මහතා සඳහන් කළේය.
ප්‍රින්ස් ගුණසේකර