Home Politics News Room : යහපාලන කාලයේ ඉවත දමා තිබූ බොරු චෝදනා යළි ගේන්නේ...

News Room : යහපාලන කාලයේ ඉවත දමා තිබූ බොරු චෝදනා යළි ගේන්නේ පාක්ෂිකයා සතුටු කිරීමටයි

0
0

යහපාලන ආණ්ඩුව සමයේ ඔප්පු කළ නොහැකිව ඉවත දමා තිබූ අසත්‍ය චෝදනා නැවත ගෙන එන්නේ තම පාක්ෂිකයා සතුටු කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

මේ රටේ කිසියම් හෝ දෙයක් සිදුව තිබෙන්නේ නම් ඒ සියල්ල රාජපක්ෂවරුන් පිට පැටවීමේ ඉතාම නිර්ලජ්ජිත උත්සාහයක් දරන බව ද ඒ මහතා පෙන්වා දෙයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ ද පැවසීය.

“මේ ආණ්ඩුව බලය ගත්තේ බොරු කියලා. බොරු කියලා බලය ගත්ත රජය ඒ රැවටීම කුමක් ද කියන එක ජනතාවට පැහැදිලි කරන්න අපි වැඩපිළිවෙළක් පටන්ගත්තා “ගමින් ගමට” කියන වැඩපිළිවෙළ. ඉතාමත් සාර්ථකව ගමින් ගමට වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙලා යද්දී, ජනතාව ඔවුන් රැවටුණා කියලා තේරුම් ගනිමින් ජනතාව ඔවුන් රැවටූ ජවිපෙට පාඩමක් උගන්වන්න පෙළගැහෙමින් සිටිද්දි එයට බයවෙලා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා සේම විවිධ වංචනික ක්‍රියාමාර්ග සහ අනීතික ක්‍රියාමාර්ග ගන්නවා අපි දැක්කා. ඒ වගේම නාමල් රාජපක්ෂ මහතා වටා ජනතාව එකතුවීම මත නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ක්‍රියාත්මක කරන බව අපට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබෙනවා. “නාමල් මහත්තයා හෙට අනිද්දා වනවිට වළට යවනවා” කියා ප්‍රකාශයක් කරනවා රජයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්. මේ කරන්නේ මරණ තර්ජනයක්.

අපි හෙට අනිද්දා වනවිට නාමල් රාජපක්ෂ ඝාතනය කරනවා කියන කාරණය තමයි මේ නොකියා කියන්නේ. මේ තරම් එළිපිට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ආකාරයට මේ විදිහට තමන්ගේ විරුද්ධවාදීන් මැඬලන්න කටයුතු කළ රජයක් ලංකා ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ. මේ කරන්නේ ගමින් ගමට වැඩසටහනට බයවෙලා. නාමල් රාජාපක්ෂ මහතා ඝාතනය කරනවා කියා තර්ජනය කර මේ වැඩසටහන නවත්වන්න උත්සාහ දැරීමක්. ඒ වගේම අපි මෙහි දකිනවා ඉතාම භයානක තත්ත්වයක්. මේ රටේ දැන් ජාතික ආරක්ෂාව විනාශ කර තිබෙනවා පාරේ වෙඩි තියලා මරන, උසාවිය ඇතුළේ වෙඩි තියා යන රටක් නිර්මාණය කර තිබෙනවා. මේ නිර්මාණය කරපු රටේ ඔවුන්ට ඕනෑ විදිහට, ඔවුන්ට කැමැති විදිහට කටයුතු කරමින් සිටිනා බව පෙනී යන්නේ. මේ ඝාතන රැල්ල ගැන අපට සැකයක් තිබෙනවා. මේ කියන කාරණා අනුව ජවිපෙ විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කිරීමට ඔවුන් විසින්ම ඇති කළ ඝාතන රැල්ලක් ද කියන සැකය මේ ප්‍රකාශය අනුව මතුවෙනවා.

ඒ වගේම මේ වනවිට නාමල් රාජපක්ෂ මහතාට අපරාධ විමර්ශන අංශයට එන්න කියා තිබෙනවා කටඋත්තරයක් දෙන්න. මේ කටඋත්තරයක් දෙන්න එන්න කියා තිබෙන්නේ එයා බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන්. මෙය දැනට අවුරුදු දහයකට, දොළහකට කලින් සිදුවූ එයා බස් ගනුදෙනුවක්. මෙතෙක් කල් නාමල් රාජපක්ෂ මහතාටත් රාජපක්ෂවරුන්ටත් මේ පිරිස චෝදනා ගේන්න හැදුවේ යහපාලන ආණ්ඩුව කාලයේ චෝදනා ගෙනහැර දක්වලා ඔප්පු කළ නොහැකිව පැත්තකට දමා තිබුණු චෝදනා නැවත ඉහළට ගැනීමක්.

යහපාලනයේත් වසර 5ක් තිස්සේ තිබ්බ නැති බොරු පැමිණිලි කරළියට ගෙනවිත් තිබෙනවා. පරණ තිබුණු චෝදනා ඉදිරිපත් කළාම අධිකරණය ඉතාම ස්වාධීන ලෙස කටයුතු කරමින් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම් කළේ නැහැ.

එය නිසියාකරයෙන් නෛතිකව ඒ අදාළ කටයුතු කළා.නඩුවලට මුහුණදෙන්න අපි සූදානම්. නඩුවලට මුහුණදීලා ඒ චෝදනා සියල්ලෙන් නිදහස්භාවය ඔප්පු කරන්න අපි සූදානම්. නමුත් මේ උත්සාහ කරන්නේ මොකක් හෝ බොරු ප්‍රකාශයක් මත පදනම් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කර මර්දනයකට ලක් කරන්න. මේ නිවාඩු දවසක එන්න කියපු කාරණය උඩම ඔප්පු වෙනවා මේ ලෑස්ති වෙන්නේ මර්දනයකට කියලා. අපි ප්‍රකාශ කරන්නේ මර්දනය එපා කියන එක නොවේ, ඔබලා මර්දනය කරනවානම් ඒ මර්දනය ඔබලාටත් කැරකිලා එනවා. එයටත් ලෑස්තිවෙලා සිටින්න. මෙය ඉතාම පැහැදිලිව සැලසුම්සහගතව සිදුකරන්නේ.”

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here