16
පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහා වැඩි අවධානයක් රජයෙන් ලබාදෙන බව බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) පැවසීය.
පුනර්ජනනීය ලෙස මෙගාවොට් 1972ක් උත්පාදනයට රජය සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 21.14ක් ද, ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 20.07ක් ද බලශක්ති අමාත්‍යාංශය සඳහා අය-වැයෙන් වෙන් කර තිබෙනවා. පුනරාවර්තන වියදම් ගත් විට 2024 වර්ෂයේ වෙන් කළ මුදල් අනුව සියයට 43 ක අඩු කිරීමක් යටතේ වෙන් කර තිබෙනවා. ප්‍රාග්ධන වියදම් අයිතම හතක් යටතේ වැය ශීර්ෂ ඉදිරිපත් කර තිබෙනවා. ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාලය සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමේ ව්‍යාපෘතිය. ඒ යටතේ පැකේජ් 4 ක් විදියට කටයුතු සම්පාදනය කර තිබෙනවා. ගම්පහ, කොළඹ, කුරුණෑගල සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම පැකේජ් එක යටතේ කරනවා. එය 2025 දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිතයි. ඇස්තමේන්තුව රුපියල් මිලියන 14,623ක්. ජයිකා සහ රජයේ අරමුදල් යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. පැකේජ් දෙක යටතේ ගම්පහ, කොළඹ, මහනුවර, කෑගල්ල සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම. ඒ සඳහා රුපියල් මිලියන 8531ක්. 2025 දෙසැම්බර් එය අවසන් කරනවා. පැකේජ් තුන යටතේ අනුරාධපුර, මාතලේ, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 11,253 වෙන් කරනවා. එය 2026 දෙසැම්බර් වන විට අවසන් කරනවා. පැකේජ් හතර යටතේ කොළඹ නගරයේ කේබල් මඟින් බෙදා හැරීම් ආවරණය කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 7183 ක මුදලක් යොදවනවා. 2026 දෙසැම්බර් එය අවසන් කරනවා. රුපියල් බිලියන 1.2 ක් කොළඹ රැස්වන අපද්‍රව්‍ය බලශක්තිය බවට පත්කිරීමේ මෙගාවොට් 10 ක බලාගාරයක් ඉදි කිරීම සඳහා වෙන් කර තිබෙනවා. රජයේ ගොඩනැඟිලි, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස, ආගමික ස්ථාන සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා වහල මත සවි කරන සූර්ය කෝෂ පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 290 ක් වෙන් කර තිබෙනවා.
ඩෙල්ෆ්, අනනතිවු, හයිනතිවු කුඩා දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ඉදි කිරීම සඳහා රුපියල් බිලියන 3 ක් වෙන් කර තිබෙනවා. මෙරට බලශක්ති වැඩසටහන විදුලිබල මණ්ඩලයේ ධාරිතා වැඩසටහනට රුපියල් මිලියන 290 ක් වෙන් කර තිබෙනවා. රුපියල් බිලියන 0.16ක් වැය කරමින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ධාරිතාව පුළුල් කිරීමට වෙන් කර තිබෙනවා. පරිසර හිතකාමී බලශක්තිය ජනනයට සහාය වීම මෙහිදී සිදු වෙනවා. කෙරවළපිටියේ සිට කොළඹ වරාය දක්වා මෙගාවොට් 220 ක දෙවැනි සම්ප්‍රේෂණ මාර්ගයක් ස්ථාපනය කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 7000 ක් වෙන් කර තිබෙනවා. අය-වැය හරහා මේ මුදල් වෙන් කළත් මීට වඩා බොහෝ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. ප්‍රධාන ජල විදුලි උත්පාදනයක් විදියට මොරගොල්ල ව්‍යාපෘතිය දෙසැම්බර් අවසන් කරනවා. මෙගාවොට් 30.5 ක් එමඟින් උත්පාදනය කළ හැකියි. කුඩා ජල විදුලි ව්‍යාපෘති තිබෙනවා. සීතාවක ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 14 ක් උත්පාදනයේ ව්‍යාපෘතියත් මේ වසර අවසන් වන විට නිම කරනවා.
භූමිය මත ඉදි කළ සූර්ය බලාගාර ව්‍යාපෘති මඟින් හම්බන්තොට මෙගාවොට් 350 ක් උත්පාදනයට නියමිතයි. සාම්පූර් මෙගාවොට් 120 ක්, වාලච්චේන මෙගාවොට් 200 ක්, ඇඹිලිපිටිය මෙගාවොට් 60 ක්, ත්‍රිකුණාමලය මෙගාවොට් 100 ක්, පුත්තලම මෙගාවොට් 70 ක්, කිළිනොච්චිය මෙගාවොට් 150 ක්, මොනරාගල මෙගාවොට් 108ක් ලෙස මූලිකව සූර්ය බලාගාර ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ජලය මතුපිට පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ද ආරම්භ කර තිබෙනවා. මෙගාවොට් 710 ක සුළං බල ව්‍යාපෘති ඉදි කිරීමට නියමිතයි. මෙගාවොට් තුන් හාරසීයක න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමටත් සැලසුම් කරනවා. අන්තර්ජාතික පරමාණුක බලශක්තිය ආයතනය සහ බලශක්ති අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ එය ඉදි කරනවා.