Home Sport News Room : අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් එන්සීසී-බ්ලූම්ෆීල්ඩ් අවසන් ගැටුම අද සිට...

News Room : අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් එන්සීසී-බ්ලූම්ෆීල්ඩ් අවසන් ගැටුම අද සිට සිවුදිනක්

0
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය 2024/25 අවසන් මහ තරගය එන්සීසී ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර අද (5) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

තුන්දින තරගාවලියක් ලෙස පැවති මේ තරගාවලියේ අවසන් මහ තරගය සිවුදින තරගයක් ලෙස ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

මූලික වටය නිමාවන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් එන්සීසී සහ බ්ලූම්ෆීල්ඩ් අවසන් තරගයට එක් විය.

මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය නියෝජනය කළ බ්ලූම්ෆීල්ඩ් පිල තරග 8කදී ජයග්‍රහණ 4ක් සහ ජය පරාජයෙන් තොර තරග 4ක් සමඟ ප්‍රසාද ලකුණු 104.76ක් ලබාගත් අතර, එන්සීසී පිල ජයග්‍රහණ 3ක් සහ ජය පරාජයෙන් තොර තරග 5ක් සමඟ ප්‍රසාද ලකුණු 114.985ක් ගෙන මේ තරගයට එක් විය.

තරගාවලියේ වැඩිම ලකුණුලාභියාට සහ වැඩිම කඩුලුලාභීන් දෙදෙනාට අවසන් තරගය අහිමි වී තිබේ. වැඩිම ලකුණු රැස් කර සිටින සහන් කෝසල (722) කැන්ඩි කස්ටම් පිල නියෝජනය කළ අතර, පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින දිලුම් සුදීර (61) පොලීසියත්, තරිඳු රත්නායක (52) ටැමිල් යූනියන් පිලත් නියෝජනය කළහ.

පිතිකරුවන් අතර දෙවැනි තැන පසුවන කමිල් මිෂාර (713) එන්සීසී පිල නියෝජනය කරන අතර, මුල් පිතිකරුවන් 10 දෙනා අතර සිටින ලහිරු උදාර (642), සහන් ආරච්චිගේ (594), නිරෝෂන් දික්වැල්ල (522) ද එන්සීසී පිලට ක්‍රීඩා කරති. බ්ලූම්ෆීල්ඩ් පිලේ වැඩිම ලකුණුලාභියා වන රොන් චන්ද්‍රගුප්ත (488) පිතිකරුවන් අතර සිටින්නේ 14 වැනි ස්ථානයේයි.

බ්ලූම්ෆීල්ඩ් පිලේ රවිඳු ප්‍රනාන්දු (49) කඩුලුලාභීන් අතර තෙවැනි තැන පසුවන අතර, එන්සීසී පිලේ වැඩිම කඩුලුලාභියා වන අෂේන් ඩැනියෙල් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 22කි.

මේ අතර අවසන් වරට පැවති තුන්දින තරගාවලියේදී එස්එස්සී සහ පොලිස් කණ්ඩායම් සම ශූරයන් වූ අතර, මෙවර ‘බී’ කාණ්ඩයේ 8 වැනි තැනට පත්වීම හේතුවෙන් එස්එස්සී පිලට ලබන වසරේ පළමු පෙළට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී ගියේය. පොලීසිය ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කළේය.

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here