Home Sport News Room : මනුදිට-චේතනාට එක්දින වරම් දුන් ශ්‍රී ලංකා-නවසීලන්ත කාන්තා පළමු ගැටුම...

News Room : මනුදිට-චේතනාට එක්දින වරම් දුන් ශ්‍රී ලංකා-නවසීලන්ත කාන්තා පළමු ගැටුම වැස්සට සේදෙයි

0
0

 

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ නේපියර්හි මැක්ලීන් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවති පළමු තරගය වාර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා පිල ඕවර 36.4කදී කඩුලු 5ක් දැවී ලකුණු 147ක් රැස් කර සිටියදී වර්ෂාව ඇද වැටීම හේතුවෙන් තරගය විසඳුමකින් තොරව නිමා කිරීමට සිදු විය.

ඒ වන විට හර්ෂිතා මාධවී ලකුණු 66ක් සහ අනුෂ්කා සංජීවනි ලකුණු 2ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

විශ්මි ගුණරත්න සමඟින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ නායිකා චමරි අතපත්තු ලකුණු 9ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, විශ්මිගේ ඉනිම ලකුණු 30කට සීමා විය. කවීෂා දිල්හාරි ලකුණු 6කටත් ඊයේ ජාත්‍යන්තර එක්දින තරග වරම් ලැබූ මනුදි නානායක්කාර එක් ලකුණකටත් දැවී ගිය අතර, නිලක්ෂි ද සිල්වා ලකුණු 17ක් ලබා සිටියදී දුවද්දි දැවී යෑමට හසුවූයේ 5 වැනි කඩුල්ල ලෙසිනි.

පන්දු 83කින් සිය දෙවැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළ හර්ෂිතා තරගය නතර කරන විට හතරේ පහර 7ක් සමඟ ලකුණු 66ක් රැස් කර සිටියේ පන්දු 96කිනි.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිය මංගල එක්දින කඩුල්ල ලෙස දවා ගැනීමට සමත් වූ බ්‍රී ඉලිං ලකුණු 42කට කඩුලු 2ක් බිඳ දමා තිබිණි.

මේ තරගයේදී නවක ක්‍රීඩිකාවන් 5 දෙනකු ජාත්‍යන්තර තරග වරම් ලබා ගැනීම කැපී පෙනිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා 17 හැවිරිදි මනුදි නානායක්කාර සහ 23 හැවිරිදි චේතනා විමුක්ති ජාත්‍යන්තර එක්දින තරග වරම් ලබාගත් අතර, 21 හැවිරිදි බ්‍රී ඉලිං සමඟ 18 හැවිරිදි එමා මැක්ලියෝඩ් සහ 28 හැවිරිදි පොලි ඉන්ග්ලිස් ද නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග වරම් ලැබූහ.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය අනිද්දා (7) නෙල්සන්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා පිල – 147/5 (ඕවර 36.4) හර්ෂිතා මාධවී නොදැවී 66, විශ්මි ගුණරත්න 30, නිලක්ෂි ද සිල්වා 17 (බ්‍රී ඉලිං 42/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here