11
අයිසීසී චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්තය ඊයේ සමත් විය.
ලාහෝර්හිදී පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 50කින් පරාජය කිරීමට නවසීලන්තය සමත්වූ අතර, ඔවුන් මේ තරගාවලියේ අවසන් තරගයකට පිවිසියේ වසර 16කට පසුව වීම කැපීපෙනේ. නවසීලන්තය අවසන් වරට 2009දී අනුශූරතාව දිනාගෙන තිබිණි.
ඊයේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් නවසීලන්තය දුන් ලකුණු 363ක දැවැන්ත ඉලක්කය හමුවේ දකුණු අප්‍රිකාවට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 312ක් පමණි.
හුදෙකලා සටනක නිරත වූ ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 100ක් රැස් කරමින් දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, රසී වැන් ඩර් ඩුසේන් පන්දු 66කින් ලකුණු 69ක් සහ ටෙම්බා බවුමා ලකුණු 56ක් ඉනිමට එක් කළහ. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් ගොඩනැඟුණහ. පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් කඩුලු 3ක්, ග්ලේන් පිලිප්ස් සහ මැට් හෙන්රි කඩුලු 2 බැගින් දවා ගත්හ.
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 48දී බිඳවැටීමෙන් පසු රචින් රවින්ද්‍ර සමඟ එක්වූ කේන් විලියම්සන් ලකුණු 164ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූහ. රවින්ද්‍ර පන්දු 101කදී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 108ක් රැස් කළ අතර, විලියම්සන් පන්දු 94කින් ලකුණු 102ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඩැරිල් මිචෙල් පන්දු 37කින් සහ ග්ලේන් පිලිප්ස් පන්දු 27කින් වේගවත් ලකුණු 49 බැගින් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ලුන්ගි එන්ගිඩි කඩුලු 3ක් සහ කගීසෝ රබාඩා කඩුලු 2ක් දවා ගත්හ.
මේ තරගාවලියේ පස්වැනි වරට අවසන් මහ තරග වරම් ලබාගත් ඉන්දියාව අඛණ්ඩව අවසන් තරගයට එක් වූයේ තෙවැනි වරටය. ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදී පැවති පළමු අවසන් පූර්ව තරගය කඩුලු 4කින් ජය ගනිමින් ඉන්දියාව අවසන් තරගයට එක්විය.
එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව ලකුණු 264කින් නතර කළ ඉන්දියානුවෝ ඕවර 48.1කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී තිබියදීය. විරාට් කෝලි ලකුණු 84ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
ඉන්දියාව තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම හේතුවෙන් අවසන් තරගය ලාහෝර් නුවරින් ඩුබායි වෙත ගෙන යන අතර, එම තරගය ලබන ඉරිදා (9)පැවැත්වේ.