9
මොළයේ පිළිකාවකට ගොදුරු වූ 13 හැවිරිදි දරුවකුගේ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑ කර දීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචිව සිටින ඩීජේ ඩැනියෙල් නමැති එම දරුවා කුඩා වියේ සිට පොලිස් නිලධාරියකු වීමේ සිහිනය දකිමින් සිටි බවත්, ඔහු මොළයේ පිළිකාවකින් පෙලෙන බව 2018 වසරේදී අනාවරණය වීමෙන් පසු ඔහුගේ ජීවිත කාලය මාස 5කට සීමා වනු ඇතැයි එවකට වෛද්‍යවරුන් අනාවැකි පළ කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පිළිකා රෝගී දරුවාගේ සිහිනය සැබෑ කරමින් ඔහු අමෙරිකාවේ බුද්ධි සේවාවේ ගෞරවනීය නියෝජිතයකු ලෙස පත් කළ බව පෙරේදා සිය දෙවැනි ධුර කාලයේ පළමුවරට පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සිය පියා සමඟ එම අවස්ථාවට සහභාගි වූ දරුවා ජනාධිපතිවරයාගේ නිවේදනයත් සමඟ අසුනෙන් නැඟී සිටිමින් සිය ස්තූතිය පුද කර ඇති අතර, ඒ මොහොතේ ඔහු පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි බව ද වාර්තා වේ.
“ඩීජේට මොළයේ පිළිකාවක් වැලඳුණා. ඔහු මාස 5කට වඩා ජීවත්වෙන්නේ නෑ කියලා ඩොක්ටර්ස්ලා කිව්වා. ඒ මීට අවුරුදු 6කට කළිනුයි. අද මේ පාර්ලිමේන්තු ගැලරියේ වාඩිවෙලා ඉන්න ඒ දරුවා බුද්ධි සේවා නියෝජිතයෙක් විදිහට නිල වශයෙන් පත් කරන්න කියලා මම අපේ නව බුද්ධි සේවා අධ්යක්ෂ ෂෝන් කරන්ගෙන් ඉල්ලා සිටිනවා.” ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයාගේ එම නිවේදනයත් සමඟ සභාවේ රැස්ව සිටි අය අසුන්වලින් නැඟිට අත්පොළොසන් දුන් බවද වාර්තා වේ.