7
අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ එන්සීසී පිලට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ගැනීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.
සිවුදින තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ තරගය පළමු දිනයට නතර කරන විට කාසියේ වාසියේ දිනා පළමුව පන්දුවට පහර දෙන බ්ලූම්ෆීල්ඩ් පිල ලකුණු 260ක් රැස් කර තිබුණේ කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමිනි.
දිනය නිමා වන විට අගනා ඉනිමක් ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත නොදැවී ලකුණු 140ක් සහ අසිත වන්නිනායක නොදැවී ලකුණු 62ක් රැස් කර තිබිණි. දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩනැඟුණු නොබිඳුණු සබඳතාව ලකුණු 141කි.
පන්දු 279කින් ගොඩනැඟුණු රොන්ගේ ඉනිම හතරේ පහර 14කින් වර්ණවත් වූ අතර, අසිත පන්දු 148කදී හතරේ පහර 8ක් එල්ල කර තිබිණි.
හසිත බෝයගොඩ ඊයේ දැවී ගිය එකම පිතිකරු බවට පත්වූ අතර, ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟ පන්දු 115කින් ලකුණු 52ක් රැස් කර තිබිණි. හසිත සහ රොන් අතර පළමු කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 119කි. ළහිරු කුමාර එම කඩුල්ල දවා ගැනීමට සමත් විය.
මේ තරගාවලියේ පළමුවරට එන්සීසී පිල වෙනුවෙන් ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද එක්ව සිටියි.
අද තරගයේ දෙවැනි දිනයයි.
නිරෝෂාන් ප්‍රියංකර